Spread the love

: .නිමල් රාජපක්ෂ –

ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් එළඹෙන ජුනි 19 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියළුම වාහන වල රියදුරන් සහ මගී ජනතාවට ආරක්ෂිත ආසන පටි පැලඳීම අනිවාර්ය කර ඇත.

මේ පිළිබඳ දැනුවන් කිරීමේ වැඩසටහනක් අද දින(06.17) කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්විණ. එහිදී අධිවේගී මාර්ගයේ ගමන් කරන ලද වාහන වල රියදුරන් සහ මගී ජනතාවට අත්පත්‍රිකා ලබා දෙමින් ආසන පටි පැලඳීම පිළිබඳවත් මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙල යටතේ 19 වනදා සිට නීතිය බලාත්මක වීම පිළිබඳවත් දැනුවත් කෙරිණ. අමාත්‍යංශය මගින් මුද්‍රිත “ආදරණීයයන් වෙනුවෙන් Click එකක්” තේමාව සහිත අත් පත්‍රිකා බෙදා දීම මෙහිදී සිදු කල අතර ඒ පිළිබඳ රියදුරන් සහ මගී ජනතාවගේ ආකර්ෂණයටද ලක් විය.

ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීමට රියදුරන් සහ මගී ජනතාවට ලබා දී තිබූ මාස 3ක සහන කාලය එළෙබෙන ජුනි 19 වෙනිදායින් අවසන් වන බැවින් ආසන පටි නීතිය කඩ කරන්නන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට නියමිතය.

ඒ අනුව සාමාන්‍ය මාර්ග වල ධාවනය වන වාහන වල රියදුරු සහ ඉදිරිපස අනෙක් ආසනයේ ගමන් ගන්නා මගියා ආසන පටි පැලඳීම අනිවාර්ය වන අතර අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියළුම වාහන වල රියදුරු සහ සියළු මගීන් ආසන පටි පැලඳිය යුතු වේ.

මෙම නීතිය කඩකරන්නන්ට එරෙහිව රුපියල් දහසකට යටත් වන දඩ මුදලක් ගෙවීමට සිදු වන අතර නීතිමය ප්‍රතිපාදන අනුව ඉදිරියේදී රියදුරු, මගියා සහ වාහන හිමිකරු යන සියලු දෙනා මෙම වගකීමට යටත් වේ.

කොට්ටාවේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනට ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු, කළමණාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් R.A.D කහටපිටිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.