නිමල් රාජපක්ෂ-
මෙරට ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත සරුකිරීම රජයේ වගකීමක් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයට මෙන් ම ජාත්‍යන්තරයට වෘත්තියන් ගෙන යාමේ වගකීම ද ශ්‍රී ලංකා රජය සතු වන බැවින්, රටට අවශ්‍ය වෛද්‍ය වෘත්තිකයින් රටතුළ බිහිකර ගන්නා අතරම විදේශයන් සඳහා ද, වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් යැවීම පිළිබඳව දැනටමත් සැලසුම් කරන බව ද ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුයේ, අද (28) පෙරවරුවේ පරිපූරක අතුරු වෛද්‍ය කර්මයට අදාළ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සඳහා උපාධිධාරීන් 85 දෙනෙක් සඳහා බඳවා ගැනීමේ ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.
මෙහි දී විකිරණ ශිල්පි තනතුර සදහා 74 දෙනෙක් සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහා 11 දෙනෙකු ලෙස 85 දෙනෙකු බඳවා ගන්නා ලද අතර ඔවුන් හට මාස හයක පුහුණු පාඨමාලාවක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල ලබා දීමට නියමිත ය. මෙම බඳවා ගැනීම් තුළ විශේෂත්වය වනුයේ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සඳහා වසර 11 කට පසු මෙම බඳවා ගැනීම සිදුවීම ය.
මෙරට සමස්ත සෞඛ්‍ය වෘත්තිකයන් සියලු දෙනාටම අවශ්‍ය කරන නවීන දැනුම, තාක්ෂණය, පුහුණුව ලබා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස ලෝකයේ වෙනත් රටවල්, සංවිධාන හා ආයතන සමග සම්බන්ධීකරණය ගොඩනගිමින් මෙරට සෞඛ්‍ය වෘත්තිකයන්ට නව තාක්ෂණ දැනුම මෙන්ම කුසතාවයන් වර්ධනය කර ගැනීම සදහා වැඩි අවස්ථා නිර්මාණය කර දීමට ද කටයුතු කරන බව පැවසී ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂවරුන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.
