නිමල් රාජපක්ෂ-
‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් කොලොන්නාව ආසනයේ හානියට පත් නිවාස සඳහා හානිපූර්ණ වන්දි ලබාදීමේ වැඩසටහනේ අටවන අදියර ක්‍රියාත්මක කරමින් නිවාස හිමියන් 1,119 දෙනෙකු සදහා වන්දි ප්රදානය අද දින (.08) සිදුකෙරිණ.
හානිපූර්ණය සඳහා වූ චෙක්පත් ප්රදානය කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව පුරාණ විහාරස්ථානයේ දී සිදුකෙරිණ.
කොලොන්නාව ආසනයේ ග්‍රාමසේවා වසම් 46 ක ජීවත්වන ජනතාව සඳහා රජය විසින් නිවාස අර්ධ හානි, පූර්ණ හානි, ව්‍යාපාරික හානි වශයෙන් රුපියල් ලක්ෂ පහ සහ ලක්ෂ පනහ මූල්‍ය සීමා දක්වා වන්දි ලබාදීම සිදු කෙරේ. අද දින ග්‍රාම සේවා වසම් විස්සක නිවාස හිමියන්ට වන්දි ප්රදානය සිදුකෙරිණ. ඒ මුල්ලේරියාව උතුර, උඩුමුල්ල උතුර, මුල්ලේරියාව දකුණ, කොටිකාවත්ත නැගෙනහිර, කොටිකාවත්ත බටහිර, මහබුත්ගමුව සී, වෙලේවත්ත, කොටුවිල, සේදවත්ත, හල්මුල්ල, මෙගොඩ කොලොන්නාව, බෝපැත්ත, අඹතලේ, කැලණිමුල්ල, බැලගම, බටලන්දහේන, මහබුත්ගමුව බී, වෙන්නවත්ත, කිත්තම්පහුව සහ සාලමුල්ල වේ.
හානිපූර්ණ වන්දි වැඩසටහන යටතේ මේ වනවිට නිවෙස් හිමියන් 8,200 කට පළමු වාරිකයේ වන්දි ගෙවා අවසන් බවත්, මේ වසර අවසන් වීමට පෙර අනුමත චක්‍රලේඛ ප්‍රකාරව සියලු ආකාරයේ හානි සඳහා වන්දි මුදල් ගෙවීම සිදුකරන බවත් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා මෙහිදී පැවසීය. එමෙන්ම රජය සහ පලාත් පාලන නියෝජිතයන් නිරන්තරයෙන් ලබාදෙන සහය මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට විශාල පිටුබලයක් වී ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කලේය.
අර්ධහානි වන්දි ගෙවීමට සමගාමීව, පූර්ණ හානිවූ නිවාස සඳහා වන්දි ගෙවීම ද අද දින ආරම්භ කෙරිණ. ඒ අනුව පූර්ණ හානි වූ නිවාස 131 කට අදාල ලේඛණ මේවනවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබී ඇති අතර, සුදුසුකම් සපුරා ඇති තිදෙනෙකුට පූර්ණහානි යටතේ පළමු වාරිකය වශයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ විස්සක මුදලට අදාල චෙක්පත් පිරිනැමීම ද නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් සිදුකෙරිණ.
මෙම අවස්ථාවට එක්වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අදහස් දක්වමින්:
‘ජනතාව සමග විශ්වාසය මත පදනම්ව අවබෝධයෙන් සහ ආදරයෙන් ආණ්ඩුව ඉදිරියට යනවා. මේ රට හදන්න යන්නේ ඔබගේ දුව, පුතා වෙනුවෙන්. ඔබේ නැගිටීම තුලයි ආණ්ඩුව බලය ගත්තේ. අපේ පාලන ක්‍රමය වසර එකහමාරක් තුල මේ රටට පෙන්වා දී තිබෙනවා. ආණ්ඩුව වැඩ කරන්නේ ඊළග ඡන්ද බලාගෙන නොවෙයි. මහජනතාවගේ ආණ්ඩුව ඔබ රකින්න ඕනි. ඔබට වන්දි දෙන්නේ ආණ්ඩුව සල්ලි ණයට අරන් නොවෙයි. ඔබේ බදු මුදල් ආණ්ඩුව සුරක්ෂිත කරනවා. සත පහක්වත් අරයට, මෙයාට දෙන්න කියලා අපි මැදිහත් වෙන්නේ නෑ. ඒ පෞරුෂත්වය තබාගෙනයි අපි කටයුතු කරන්නේ.
මිලියන ගණනක ආධාර කොලොන්නාවේ ජනතාවට ලබාදෙන අතරතුර මෙහේ ඉන්න එක්තරා මන්ත්‍රීවරයෙක් ෆෝම් එක ගානෙ හතරවටේ බෙද බෙද යනවා; ජනතාව පීඩාවට පත්වෙලා සිටින අවස්ථාවෙත් පටු දේශපාලනය කරනවා; මිනිස්සු අවුස්සන්න කටයුතු කරනවා; පාර්ලිමේන්තුවෙත් ගිහින් ආධාර නොදෙන බව කියනවා. අපරාධකාරී විපක්ෂය උත්සාහ කරන්නේ මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න. එමනිසා උත්සාහයෙන්, ධෛර්යයෙන් ඔබේ හඞ අවදි කරන්න. බොරුවට ඉඩදෙන්න එපා; ඇත්ත වෙනුවෙන් පෙනී සිටින්න. මේක තනි ආණ්ඩුවක් නෙමෙයි. මහජනතාව සමග ඒකාත්මිකව ගමන් කරන ජනතාවාදී ආණ්ඩුවක්. එමනිසා ඔබ පත්කල ඔබේ ආණ්ඩුව රැකගන්න ඔබට වගකීමක් තිබෙනවා.
‘දිට්වා’ ආපදාව, බලශක්ති අර්බුදයත් අපි සියලුදෙනා එක්ව කළමනාකරණය කලා. කොලොන්නාවේ ගංවතුර උවදුර පාලනයට මේ වසර තුල රුපියල් ලක්ෂ එක්දහස් පන්සීයක් වෙන්කර තිබෙනවා. ප්‍රධාන ඇල මාර්ග හතරක ප්‍රතිසංස්කරණ සිදුකර කුඩා පාලම් පනස්පහක් සංවර්ධනය කරමින් ජල රඳවන තටාක හතක් ඉදිකර ස්ථිරසාර විසඳුමක් වෙනුවෙන් කැපවෙනවා. වැඩිම හානි සිදුවන පවුල් 4,000 ක් නැවත පදිංචියට මීතොටමුල්ල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට දැනටමත් මූලික සැලසුම් සකස්කර තිබෙනවා. නව ඉදිකිරීම් කලාපයත්, ඉදිකිරීම් නොකල යුතු ප්‍රදේශයත් සලකුණු කොට විද්‍යානුකූල ප්රවේශයකින් ස්ථිරසාර විසඳුමක් ලබාදීමට මැදිහත් වෙනවා. කැලණි ගඟ ලවණ බාධකයත් මී ඔය සංවර්ධන ව්‍යාපෘතියත්, තොටළඟ – හංවැල්ල දක්වා වූ යෝජිත ජල පාලන වේල්ල ඉදිකිරීමේ අධ්‍යයන කටයුතුත් කඩිනම් කරනවා.’
මෙම අවස්ථාවට කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි, නාගරික මන්ත්‍රී හර්ෂ නලින් හේමරත්න, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන අමිල රාජපක්ෂ, චාන්දනී මානෙල්, කීර්ති වීරතුංග, ඩී. මුණසිංහ, කවිදු දිල්ශාන්, තිලක් සිල්වා, සංජය ලියනගේ, සුමිත් සුනන්ද පීරිස්, ටී. මුණසිංහ, තිලක් සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ ද ග්‍රාම නිලධාරීහු, ආර්ථික සංවර්ධන නිලධාරීහු සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් සහ වන්දිලාභීහු විශාල පිරිසක් ද එක්ව සිටියහ.
