Spread the love

.

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම සෞඛ්‍ය අරමුණක් පමණක් නොව එය ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක්ව “ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීම වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග” පිළිබඳ පවත්වන ලද සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන්කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්විණි.

ආසියානු ජනගහනයේ අවදානම් සහිත කොට්ඨාශයන්හි ශ්වසන රෝග ඇති විමේ ප්‍රවණතාව අඩු කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ඒ සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලෙස ගෝලීය සෞඛ්‍ය පිළිබද Respire ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතන වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙමගින් ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇති අතර ඒ සදහා අවශ්‍ය උපාය මාර්ග සහ සහයෝගී ප්‍රවේශයන් ද මෙහිදී ඉස්මතු කෙරිණි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න හේරත් මහතා විසින් මෙම වැඩසටහනේ පරීක්ෂණාත්මක සහ තහවුරු කරන ලද ඒක පුද්ගල දුම් පානය නිවාරණය සම්බන්ධ විද්‍යාත්මක ක්‍රමවේදය හඳුන්වා දීම ද සිදු කරන ලදි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න, දුම්පානයෙන් තොර අනාගතයක් ගොඩනැගීම සඳහා සහයෝගී ක්‍රියාමාර්ග දිරිමත් කිරීම, මෙන්ම ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්, සෞඛ්‍ය සේවා වෘත්තිකයින්, පර්යේෂකයින් සහ සිවිල් සමාජ සංවිධාන අතර සංවාදය ශක්තිමත් කිරීම ද අරමුණු කරගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ දුම්පානය, නැවැත්වීමේ ජාතික වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳව නවසීලන්ත ඔික්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ජනගහන සෞඛ්‍ය පාසලේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය ක්‍රිස් බුලන් (Prof.chris Bullen) මහතා විසින් සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රධාන දේශනය සිදු කරන ලද අතර, දුම්පානය නැවැත්වීමේ උපායමාර්ග, දුම්පානය සහ ශ්වසන රෝග, දුම්පානය නැවැත්වීමේ මුලපිරීම් සහ ක්‍රියාකාරී සැලසුම්, දුම්පානය නැවැත්වීම සඳහා සාක්ෂි මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රවේශයන් පිළිබඳව ද මෙහිදි දේශණ පවත්වන ලදි.