Spread the love

:

නිමල් රාජපක්ෂ

වනවාසල දුම්රිය අනතුරින් තුවාල ලැබුවන් සදහා රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ලබා දෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) (ගමනාගමන) අසංක සමරසිංහ මහතා පැවසුවේය.

අනතුර නිසා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මේ වනවිට රෝහල්ගතව ප්‍රථිකාර ගන්නවා. මෙවන් අනතුරකදී වන්දි ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කර තිබෙනවා. කලින් පැවති රුපියල් ලක්ෂ එකහමාරක වන්දි මුදල රුපියල් ලක්ෂ දහය දක්වා වැඩිකර තිබෙනවා. ඒ වගේම රෝහල් ගතව සිටින කාලයට අදාලව වන්දි ලබාදීමේ කටයුතු සිදුකරමින් පවතින බවද පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,‘පොල්ගහවෙල සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ අංක 1507 දරණ දුම්රිය වනවාසල දුම්රිය ස්ථානයේ නවතා, නැවත ඉදිරියට ගමන් කරද්දී දුම්රිය පීල්ලෙන් ඉවතට පැන, එහි දෙවන මැදිරිය පෙරලීමෙන් අනතුරක් සිදුවුණා. මේ අනතුර නිසා මගීන් 6 දෙනෙකු රෝහල්ගත කලා. ඊයේ (.16) උදෑසන ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවීමට මේ තත්ත්වය බලපෑවා’ යැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) අසංක සමරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

අසංක සමරසිංහ මහතා එසේ පැවසුවේය වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැන අනතුරකට ලක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සදහා අද) මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අසංක සමරසිංහ මහතා ;‘කොළඹ ඝන අපද්‍රව්‍ය සැකසුම් ප්‍රවාහන මධ්‍යස්ථානයට යන මාර්ගය සහ ප්‍රධාන දුම්රිය මාර්ගය සම්බන්ධ වන ස්ථානයේ දුම්රිය මාර්ගයේ උපකරණ කිසියම් අයෙකු ගලවා ඉවත් කිරීම මෙම අනතුරට හේතුවයි. පසුව දොඹකර දෙකක් යොදාගෙන පෙරළුනු මැදිරිය පීලිගත කලා. අද .17) හවස් කාලය වනවිට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන බවද පැවසුවේය.

මෙහිදි අදහස් දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (සංඥා අංශය) චින්තක ජයසේකර මහතා ;
‘මෙම අනතුර සිදුවූ ස්ථානය පාලනය කරන්නේ මධ්‍යගත ප්‍රධාන සංඥා මධ්‍යස්ථානයෙන්. පාලක සහ සංවේදක කොටස් ගැලවීම නිසා නව පද්ධතියක් ස්ථාපනය කිරීමට සිදුවෙනවා. එම උපකරණවලට අදාලව සංඥා අංශයට පමණක් රුපියල් මිලියන දෙකක පමණ අලාභයක් සිදුව තිබෙන බවද පැවසුවේය.

‌මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත – උතුර) නීතිඥ කාලිංග ජයසිංහ මහතා ;
‘මෙම අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ කොටස් ගැලවීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකුත් මිළදී ගැනීම සහ ළග තබාගැනීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලවන ලද කොටස් විකිණීම, මිළදී ගැනීම, ළග තබාගැනීම යන වැරදි සම්බන්ධයෙන් සහ පොදු දේපළ පනත යටතේ ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට ඔනෑම අවස්ථාවකදී සහය ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (සංඥා අංශය) චින්තක ජයසේකර මහතා ;
‘මෙම අනතුර සිදුවීමට පෙර ත්‍රිකුණාමලය – කොළඹ කොටුව සහ කන්කසන්තුරය – කොළඹ කොටුව දුම්රිය දෙක පැයට කිලෝමීටර් 80 ක වේගයෙන් මෙම ස්ථානයෙන් ගමන් කළා. මෙම රෝද උඩ ගමන් කරන්නේ මේ රටේ මහජනතාව. ඔවුන්ගේ ජීවිත අපිට වැදගත්. ඒ නිසා මෙවැනි අපරාධකාරයින් දුටු වහාම 1971 අංකය අමතා දුම්රිය දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය හෝ පොලිසිය දැනුම්වත් කිරීමට කටයුතු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’

මෙම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධීකාරි, නීතිඥ එෆ්. යූ. වුට්ලර්, දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) ප්‍රියන්ත දීගල යන මහත්වරු ද එක්ව සිටියහ.