Spread the love

නිමල් රාජපක්ෂ


පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් දේශීය අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය නඟාසිටුවීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන “රන්සළු” අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ජාතික සම්මාන ප්‍රදානය අද (12 දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.


කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, පළාත් කර්මාන්ත හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තු 9 සමඟ එක්ව වාර්ෂිකව මෙම අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත රෙදි පිළි ජාතික තරගය සංවිධානය කරනු ලබයි.
මෙවර පළාත් මට්ටමින් අංශ 23 ක් යටතේ මූලික තරග පවත්වා එමගින් තෝරා ගත් නිර්මාණ ජාතික තරඟයට ඉදිරිපත් කර ඉන් ජයග්‍රහණය කළ ශිල්පීන් 127 දෙනෙක් සඳහා රන්, රිදී, ලෝකඩ හා කුසලතා සම්මාන සමඟ මුදල් ත්‍යාග ලබාදෙමින් ශිල්පීන් ඇගයීමට ලක් කරනු ලැබීය. මෙම වසරේ අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන තරඟාවලියේ සමස්ත ශූරතාවය දකුණු පළාත හිමි කරගත් අතර අනුශූරතාවය මධ්‍යම පළාතට හිමිවිය.
මෙම ජාතික සම්මාන ප්‍රදානයට සමගාමීව “රන්සළු” අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනයද සංවිධානය කර තිබූ අත එම ප්‍රදර්ශනය 12, 13 හා 14 යන තෙදින පුරා පැවැත්වෙයි.
මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සේනානි සෙනෙවිරත්න, ජාතික ශිල්ප සභාවේ සභාපතිනි අයේෂා වික්‍රමසිංහ ඇතුළු ආයතන සභාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, පේෂ කර්මාන්ත ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.