Spread the love

නිමල් රාජපක්ෂ

මෙරට පොදු ප්‍රවාහන සේවාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ආරම්භ කර ඇති ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට අනුව හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණයන් යටතේ රථවාහන වැරදි කරන සියලුම රියදුරන් සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිතය.

මෙම නියමු ව්‍යාපාතිය 2026 ඔක්තෝබර් 01 වන දින සිට 2027 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර, එම හය මාසයක තුළ කාලයළරියදුරන් දැනුවත් කිරීමත් මෙම ආරක්ෂිත ක්‍රමවේදය සමග අනුගතවීමටත් කාලය හිමිවෙයි.

ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති මෙම ජාතික වැඩපිළිවෙල පිළිබද දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, කොස්වත්ත, ‘මගනැගුම මහමැදුර’ පිහිටි අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අදදින (2026.09.28) පැවැත්වුණි.

මාස හයක නියමු ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පොලීසිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, Lanka Pay ආයතනය, Gov Tech ආයතනය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ. අධිවේගී මාර්ග හා මහාමාර්ගවල ධාවනයේ යෙදෙන සියලුම රියදුරන්, ඉදිරි හය මාසයක කාලය තුල මෙම ක්‍රමවේදය සමග අනුගතවීම අත්‍යවශ්‍ය වෙයි.

හය මසක නියමු ව්‍යාපෘතිය අවසන එළැඹෙන 2027 වසරේ මාර්තු මස සිට රියදුරන් සඳහා අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) නිත්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම ක්‍රියාවලිය රථවාහන වැරදි 33 ක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතය. මීට සමගාමීව Gov-Pay හරහා මාර්ගගත ක්‍රමයට රාජ්‍ය ආයතනවලට ගෙවීම් කටයුතු සිදු කිරීමද විධිමත් කර ඇත.

2025 අප්‍රේල් මාසයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද මාර්ගගත ක්‍රමයට රථවාහන දඩ ගෙවීමේ ක්‍රමවේදය මූලිකව කුරුණෑගල, අනුරාධපුරය මාර්ග සම්බන්ධ කර ගනිමින් ආරම්භ කෙරිණ. පසුව 2025 දෙසැම්බර් මස සිට සමස්ත දිවයින ආවරණය වන පරිදි ව්‍යාප්ත කෙරිණ. Gov-Pay හරහා මාර්ගගත ක්‍රමයට ගෙවීම් කටයුතු බැංකු, මූල්‍ය ආයතන, Fintech App යොදා ගනිමින් සිදුකිරීමේ පහසුකම් සලසා ඇත.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා,

මෙරට පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කලයුතු තිරසර වැඩපිළිවෙල ආරම්භ කලේ පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී. වසරකට 2750 කට අධික පිරිසක් මාර්ග අනතුරුවලින් මිය යාම පාලනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එමෙන්ම මේ ජීවිත හා දේපල විනාශයෙන් රටේ දල ජාතික නිෂ්පාදනයටත් පොදුවේ ආර්ථික දේහයටත් සිදුවන බරපතල හානිය වලක්වා ගතයුතු වෙනවා. රටට අහිමිවන ඩොලර් ප්‍රමාණය අතිවිශාලයි.

පුරවැසියෙකුට, රියදුරෙකු විදියට ලයිසන් එකක් දෙනවා කියන්නේ වත්කමක්, අයිතිවාසිකමක් විතරක් නෙමෙයි; එය වගකීමක්. මේ මාස හයේ නියමු ව්‍යාපෘතිය හොඳ අරමුණුවලින් හඳුන්වා දෙන එකක්. මේ වැඩපිළිවෙල සමග හැඩගැහෙන්න ජනතාවට කාලයක් අවශ්‍යයි. මෙහි බලපෑම නීතිය නොතකා රිය ධාවනය කරන අයට පමණයි. ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මත මේ සමස්ත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. 2027 මාර්තු මාසයේ සිට ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙල රටතුල ක්‍රියාත්මක කිරීම අපේක්ෂාවයි.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අවන්ති සේනාරත්න, පොලිස් රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශ සුමුදු රත්නායක, Lanka Pay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චන්න ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.