මාලන් විතාන
ශ්‍රී ලංකා රේගුවේ Paperless Document Processing වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, රේගු නිෂ්කාශන නියෝජිතයන්ගේ සංවිධාන, ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වවල නියෝජිතයන්ගේ සහභගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.
ආනයනකරුවන්, අපනයනකරුවන් සහ රේගු නිෂ්කාශන නියෝජිතයන් රේගු සටහන්කර සහ අදාළ ලේඛන කඩදාසි භාවිතයෙන් තොරව, විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා යොමු කිරීමත්, ඒ පිළිබඳ දැනුවත් කිරීමත් මෙම සාකච්ඡාවේ අරමුණ විය.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා රේගුව විසින් රේගු සටහන්කර සහ ලේඛන මාර්ගගතව භාර ගනු ලැබීම සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බැවින් ව්‍යාපාරික ප්‍රජාව තවදුරටත් සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන භාවිතයෙන් රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවයි. ඉදිරියේදී සියලුම රේගු සටහන් සහ අදාළ ලේඛන කඩදාසි රහිතව විද්‍යුත් ක්‍රමවේදයෙන් පමණක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන් ප්‍රකාශ කළේ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, ජනාධිපති කාර්යාලය සමඟ එක්ව සිය සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්ය.
එමෙන්ම, රේගු නිෂ්කාශන නියෝජිතයන් සඳහන් කළේ, මෙම නව ක්‍රමවේදය හේතුවෙන් ඇතැම් සාමාජිකයන් අතර රැකියා අහිමිවීම පිළිබඳ අනියත බියක් පවතින නමුත්, සත්‍ය තත්ත්වය නම් මෙම ඩිජිටල් පරිවර්තනය මගින් ඔවුන්ගේ සේවා වඩාත් වෘත්තීයමය සහ කාර්යක්ෂම මට්ටමකට ඔසවා තැබීමට හැකිවන බවයි. එම නිසා මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ඔවුහු ප්‍රකාශ කළහ.
කඩදාසි රහිතව රේගු සටහන්කර සහ ලේඛන ඉදිරිපත් කිරීමේදී එම ලේඛන සඳහා ඩිජිටල් අත්සන් (Digital Signature) භාවිත කිරීම අනිවාර්ය වන අතර, එම ඩිජිටල් අත්සන LankaSign ආයතනයෙන් නිකුත් කරනු ලබයි. ඒ අනුව සියලුම ආනයනකරුවන්, අපනයනකරුවන් සහ රේගු නිෂ්කාශන නියෝජිතයන් ප්‍රථමයෙන් Digital Signature ලබා ගත යුතු බවත්, ඒ පිළිබඳ තොරතුරු සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් LankaSign ආයතනයේ නියෝජිතයන් විසින් විශේෂ දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී. ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ රුවන් තිසේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ අශාන් වීරමන්, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂකවරුන් වන ඩබ්ලිව්. එල්. සී. තිලකසිරි, එම්. ඒ. ප්‍රේමලාල් යන මහත්වරුද, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, රේගු නිෂ්කාශන නියෝජිතයන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා රේගුව ඇතුළු ආයතනවල නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ
