මාලන් විතාන
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සෑම වසරකම ජූනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස නම් කරමින් ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය විසින් සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ 2026 වසරේ සැමරුම් වැඩසටහන අද (22) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහි දී දරුවන්ට පාසල් ආපන ශාලා තුළින් සපයනු ලබන අහාර නිසි පෝෂණයෙන්, සෞඛ්‍යාරක්ෂිතව සහ දැරිය හැකි මිලකට සපයන ‘සිසු හිතකාමී පාසල් ආපනශාලා නිර්මාණය කිරිම හා පවත්වාගෙන යාම’ අරමුණු කරගෙන සම්පාදිත “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී එළිදක්වනු ලැබීය.
මෙම මාර්ගෝපදේශය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ තාක්ෂණික දායකත්වය යටතේ සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් එළිදක්වන්නකි. ප්‍රධාන අරමුණු 5කට අදාළ ප්රතිලාභ අපේක්ෂාවෙන් මෙම මාර්ගෝපදේශය එළිදැක්වු අතර එම කරුණු අතර,
- නිසි පෝෂණයෙන් යුතු, බෝ නොවන රෝග අවදානමින් මිදුණු නිරෝගී පාසල් දරු පරපුරක් රටට දායාද කිරීම.
- පාසල් සිසුන්ට රසවත්, පෝෂ්‍යදායී සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම.
- පාසල් ළමුන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳ නිවැරදි ආකල්ප ඇති කිරීමට දායක වීම තුළින් නිවැරදි ආහාර පුරුදු හා හැසිරීම් ඇති කිරීම.
- සෞඛ්‍ය සම්පන්න / නිවැරදි ආහාර පුරුදු පාසල් දරුවා මඟින් සමාජගත කිරීම.
- ආපනශාලා නිසි පරිදි පවත්වාගෙන යාම සහ සනීපාරක්ෂාව සහතික කිරීම.
ආදිය වේ.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය පිළිබඳ පණිවුඩය වේගයෙන් ජනතාව අතරට ව්‍යාප්ත කළ යුතු බව පැවසීය. මෙරට උද්ගතව පවතින සහ වේගයෙන් වර්ධනය වෙමින් පවතින පෝෂණය පිළිබඳ ගැටළුවට සාර්ථක විසඳුම්ක් සෙවීමට නම් දැඩි තීරණ ගනිමින් දැඩි පියවරයන්ට එළඹිය යුතු බව සඳහන් කළේ ය. මෙම ගැටළුව පිළිබඳ සමාජයේ බොහෝ පාර්ශවයන් කරුණු තේරුම් ගෙන ඇතත් නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මැලිකමක් දක්වන බව ද අමාත්‍යවරයා පැවැසීය.
පසුගිය කාලයේ ආහාර සම්බන්ධව විවිධ රෙගුලාසි නිකුත් කළ විට පාසල්වල විවිධ ව්‍යාපෘති සඳහා අනුග්‍රහකත්වය දක්වමින් සිටි සමාගම් එම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් වැළකී සිටින බවට පාසල් ගණනාවකින් පැමිණිලි ලැබුණ බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා එවන් තත්වයක් තුළ පාසල්වල විවිධ ව්‍යාපෘති වල වියදම් පියවා ගැනීමට එම හානිකර ආහාර දිගටම දරුවන්ට ලබා දෙනවා ද, නොඑසේ නම් දශක කිහිපයකින් සංවර්ධනයට දායකවීමට නියමිත දරුවන්ගේ පෝෂණය පිළිබඳ ඊට වඩා අවධානය යොමු කරනවා ද යන්න තීරණය කළ යුතු බව ද පැවසීය.
මෙම වැඩසටහන සැලසුම් කරනුයේ 2070, 2080 වැනි ඉදිරි ආනාගතයේ මෙරට වයස්ගත ජනගහනය බවට පත්වීමට නියමිත දරුවන් ඉලක්ක කර ගෙන බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා මෙරට බෝනොවන රෝග පිළිබඳ ගැටළුවට මුහුණදීම පිළිබඳව කාර්යසාධන බලකායක් ගොඩනගමින් පවතින බව ද පෙන්වා දෙන ලදි. රෝග නිවාරණයේ දී සම්බන්ධවන ප්‍රධානතම අංශය පෝෂණය බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා පෝෂණය සම්බන්ධ පවතින ගැටළු වලට කෙටිකාලීන විසදුම් ලබාදිය නොහැකි බවත් ජනතා ආකල්පයන් වෙනස් කරමින් කාලයක් තිස්සේ පවතින අඛණ්ඩ මැදිහත්වීමක් අවශ්‍ය වන බව ද මෙහි දී අවධාරණය කරනු ලැබීය.
