නිමල් රාජපක්ෂ-
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ජනතා අපේක්ෂාවන්ට අනුකූලව වඩාත් ශක්තිමත්, කාර්යක්ෂම සහ තිරසාර සේවා පද්ධතියක් බවට පත් කිරීමේ අරමුණින් වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, සෞඛ්‍ය සේවයේ වෘත්තීය ඛාණ්ඩ හතරකට අයත් ක්ෂේත්‍ර දාහතරක් සඳහා නව නිලධාරීන් 1,444 දෙනෙකුට පත්වීම් ප්රදානය කිරීමේ උත්සවය අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පවතින මානව සම්පත් අවශ්‍යතාව සපුරාලීම, සේවා සැපයීමේ ගුණාත්මකභාවය තවදුරටත් වර්ධනය කිරීම සහ ජනතාවට වඩාත් කඩිනම්, විධිමත් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම මෙම පත්වීම් ප්රදානයේ මූලික අරමුණු අතර වේ.
මෙහිදී කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්‍රාථමික ශිල්පීය සේවා, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා යන වෘත්තීය ඛාණ්ඩ හතරට අයත් ක්ෂේත්‍ර 14ක් සඳහා නිලධාරීන් 1,444 දෙනෙකුට පත්වීම් ප්රදානය කෙරිණි.
ඒ අනුව කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ගණයට වෛද්‍ය සැපයීම් සහකාරවරුන් 06 දෙනෙකු, වාට්ටු ලිපිකරුවන් 50 දෙනෙකු සහ නිවාස පාලක/පාලිකාවන් 37 දෙනෙකු ද, ප්‍රාථමික ශිල්පීය සේවා ගණයට සෞඛ්‍ය රියදුරන් 07 දෙනෙකු සහ රෝහල් ඕවර්සියර්වරුන් (සුළුසේවා පාලක) 121 දෙනෙකු ද, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයට සංචාරක බංගලා භාරකරුවන් 03 දෙනෙකු, ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියාකරුවන් 07 දෙනෙකු, කරණවෑමියා 01 දෙනෙකු, විකලාංග කාර්මික සහායකයන් 37 දෙනෙකු, ජලනල කාර්මිකයන් 31 දෙනෙකු, මැහුම් ක්‍රියාකරුවන් 64 දෙනෙකු සහ අරක්කැමියන් 144 දෙනෙකු ද පත්වීම් ලබා ගනු ලැබීය.
එමෙන්ම ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයට සෞඛ්‍ය කාර්ය සහායකයන් 651 දෙනෙකු සහ ක්ෂේත්‍ර මදුරු මර්දන සහායකයන් 285 දෙනෙකු සඳහා ද පත්වීම් ප්රදානය කෙරිණි.
පත්වීම් ප්රදානය කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නව පත්වීම්ලාභීන්ට සුභ පැතුම් එක් කළ අතර රජයක් ලෙස ජනතාව ලබාදුන් ජනවරම අනුව “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ අරමුණින් කටයුතු කරන බව පැවසීය.
මෙරට ජීවත් වන මිලියන 21.7ක ජනතාවට එම ලස්සන ජීවිතය උරුම කරදීම සඳහා රාජ්‍ය සේවයේ නිරත වන සෑම පුද්ගලයෙකුම තමන් වෙත පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
තම යුතුකම් හා වගකීම් නිසි අවබෝධයකින් යුක්තව රාජකාරී නිසි අයුරින් ඉටු කළහොත් පමණක් රටක් ලෙස අප බලාපොරොත්තු වන පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් සියලු පුරවැසියන්ට උරුම කරදිය හැකි බවද ඒමහතා පැවසීය.
අනෙකුත් ක්ෂේත්‍ර හා සසඳන විට සෞඛ්‍ය ක්ෂේත්රය සුවිශේෂී වැදගත්කමක් දරන ක්ෂේත්රයක් බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා ලබා ගැනීම සදහා පැමිණෙන පුද්ගලයෙකු පැමිණෙන්නේ විනෝදය හෝ වෙනත් අරමුණක් සඳහා නොව තම ජීවිතය තවදුරටත් පවත්වාගෙන යාමටත්, නිරෝගීව ජීවත්වීමටත් බලාපොරොත්තුවෙන් බව ද සදහන් කර සිටියේය.
“සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන්නන්ට පමණක් නොව, මේ රටේ සෑම පුරවැසියෙකුටම එම බලාපොරොත්තුව පොදු බව ද තම ජීවිතය දිගු කර ගැනීමටත්, ජීවත් වන කාලය නිරෝගීව ගත කිරීමටත් සෞඛ්‍ය පද්ධතිය වෙත මහත් බලාපොරොත්තුවකින් පැමිණෙන ජනතාවට එම සේවාවවන් ඉහළම මට්ටමින් ලබාදීම අපගේ වගකීම සහ යුතුකමයි” යැයි අමාත්‍යවරයා පැවසීය.
දැන හැඳුනුම්කම්, හිතවත්කම් පසෙකලා සෑම පුරවැසියෙකුටම එක හා සමානව සේවය ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලාපොරොත්තුවයි” යැයි ද සදහන්කල අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවේ මෙම ආදර්ශය අනෙකුත් රාජ්‍ය ආයතන වෙත ද ගෙන යා හැකි පරිදි මූලික වෙනස්කම් ආරම්භ කිරීමට සුදුසුම පුද්ගලයන් සෞඛ්‍ය සේවාවේ නිරතවූවන් බව සඳහන් කළේය.
