නිමල් රාජපක්ෂ
වර්තමානය වන විට තිරසාරභාවය යනු විකල්පයක් නෙව අත්‍යවශ්‍ය අංගයක් වීඇති බැවින් ලොව පුරා කර්මාන්ත නව පාරිසරික සහ තිරසාර අපේක්ෂාවන් සපුරා ගැනීම සඳහා සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය
ඇය මෙසේ පැවසුවේ පසුගියදා (29 දා) කොළඹදී පැවති ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) විසින් සංවිධානය කළ 2026 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල හා සම්පත් කාර්යක්ෂමතාව සහ චක්‍රීය ආර්ථිකය පිළිබඳව වන 4 වන ජාත්‍යන්තර සමුළුව නිල වශයෙන් දියත් කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
2007 වසරේදී පළමු වරට මෙම ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල ආරම්භ කළ අතර මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ නිෂ්පාදන කාණ්ඩයේ කර්මාන්ත අංශ වලට මෙන්ම සේවා අංශයට හා රාජ්‍ය අංශයටද මෙවර මෙම සම්මාන උළෙළේ සම්මාන සඳහා අයදුම්කළ හැකිය. ප්ලැටිනම්, රන්, රිදී හා ලෝකඩ සම්මාන වලින් පිදුම් ලබන මෙම ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල සඳහා සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි 15 වනදා වන අතර සම්මාන උළෙල නොවැම්බර් 06 වන දින සිනමන් ලයිෆී දී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තිලකා ජයසුන්දර මහත්මිය,
අද වන විට පාරිභෝගිකයින්, ආයෝජකයින්, ජාත්‍යන්තර වෙළඳපළවල් සහ ගෝලීය සැපයුම් දාමයන් තිරසාර ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන නිෂ්පාදන සහ සේවාවන් කෙරෙහි වඩාත් වැඩි නැඹුරුතාවයක් දක්වන බවත් එබැවින් ගෝලීය ආර්ථිකය තුළ තරඟකාරීව ඉදිරියට යාමට ශ්‍රී ලාංකික කර්මාන්ත නවෝත්පාදනය කිරීම, සම්පත් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සහ තිරසර ව්‍යාපාරික භාවිතයන්ට අනුවර්තනය වීම වැදගත් වන බව පැවසුවාය. මේ නිසා වඩා තිරසර කාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව ඉහළ අවධානයක් යොමු කරමින් සිටින බවද ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ (NCPC) සභාපති ගාමිණී ගුණසේකර මහතා, තිරසාර නිෂ්පාදනයේ වැදගත්කම අවධාරණය කරමින් තරගකාරී ගෝලීය පරිසරය තුළ පාරිසරික බලපෑම් අවම කරගනිමින් දේශගුණය ආශ්රිත අභියෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරමින් ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා කර්මාන්තවල අවශ්‍යතාවය පෙන්වාදෙන ලදී.
සම්මාන උළෙළට සමගාමීව නොවැම්බර් 06 වන දින සිනමන් ලයිෆී දී පැවැත්වීමට සැලසුම් කර ඇති සම්පත් කාර්යක්ෂමතාව සහ චක්‍රීය ආර්ථිකය පිළිබඳ 4 වන ජාත්‍යන්තර සමුළුව පිළිබඳව දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී සමන්ත කුමාරසේන මහතා, මෙම සමුළුව දැනුම, නවෝත්පාදන, ප්‍රතිපත්ති සම්පාදනය සහ චක්‍රීය ආර්ථිකය සඳහා කටයුතු කරන විශේෂඥයින්, කර්මාන්තකරුවන්, පර්යේෂකයින් සහ සංවිධාන අතර සහයෝගීතාව ශක්තිමත් කරන ගෝලීය වේදිකාවක් ලෙස ක්‍රියාකරනු ඇති බව පැවසීය.
