Spread the love


විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් පුළුල් ජාතික පර්යේෂණ සහ නවෝත්පාදන ප්‍රතිපත්තියක් සකස් කිරීම අවසන් අදියරේ පවතින බවත්, එය ඉක්මනින්ම රටට ඉදිරිපත් කරන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පර්යේෂණ සභාව විසින් සංවිධාන කළ 2025 – විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිණි. සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ දින (18) බත්තරමුල්ල ‍වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.


විද්‍යාත්මක පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් මූල්‍යාධාර සපයන ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් වන ජාතික පර්යේෂණ සභාව, රට තුළ විචිත්‍රවත් විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රජාවක් ගොඩනැගීම මෙන්ම ජාතික ආර්ථික සංවර්ධනයට ඉවහල්වන පර්යේෂණ දිරිගැන්වීම වෙනුවෙන් කටයුතු කරයි. ඒ සඳහා පර්යේෂණ සිදුකරන ශ්‍රී ලාංකික පර්යේෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් විද්‍යාඥයින්ගේ සේවාවන් අගයමින් ඔවුන් සඳහා ජාතික ගෞරවය පුද කරනු පිණිස වාර්ෂිකව විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීමේ (PASR) වැඩසටහන සංවිධාන කරනු ලබයි.