Spread the love

නිමල් රාජපක්ෂ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අතිගරු නයියර් නසීර් (Nayyar Naseer) මහතා අතර සුහද හමුවක් පසුගිය දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ පාකිස්තාන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සහයෝගීතාව පිළිබඳව මේ වන විටත් අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම පිළිබඳව මෙහිදී සිහිපත් කෙරිණි. තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන් ඔස්සේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පවතින සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේ ඇති කැමැත්ත මෙම හමුවේදී ප්‍රකාශ කෙරිණි.

එම අවබෝධතා ගිවිසුම යටතේ ජෛව තාක්ෂණය (Biotechnology), නැනෝ තාක්ෂණය (Nanotechnology) සහ ආහාර තාක්ෂණය (Food Technology) යන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ සහයෝගීතා වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම සහයෝගීතාවයේ අරමුණ වන්නේ ඒකාබද්ධ පර්යේෂණ කටයුතු, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්, සම-කතෘත්වයෙන් යුත් ප්‍රකාශන (co-authored publications) සහ අනාගත ඒකාබද්ධ මූල්‍ය ප්‍රතිපාදන අයදුම්පත් (joint grant applications) ප්‍රවර්ධනය කිරීම වන අතර, ඒ සඳහා දෙපාර්ශවය සිය එකඟතාවය පළ කර ඇත.

සහයෝගීතා වැඩසටහන සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් (Joint Working Committee) පිහිටුවීමට ද පාකිස්තාන මහ කොමසාරිස්වරයා යෝජනා කළ අතර, එවැනි යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

කාර්මික උද්‍යාන සහ කර්මාන්ත-විශ්වවිද්‍යාල සහයෝගීතා මුලපිරීම් ඇතුළුව, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා පාකිස්තානයේ පෞද්ගලික අංශයේ ඇති ශක්තිමත් දායකත්වය ද මහ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. තවද, පාකිස්තානය තුළ ඉහළ බලපෑමක් සහිත ආයෝජන ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීමේ එක් වේදිකාවක් (one-window platform) ලෙස ක්‍රියාත්මක වන “විශේෂ ආයෝජන පහසුකම් කවුන්සිලය” (Special Investment Facilitation Council) පිළිබඳවත්, පාකිස්තානයේ විශ්වවිද්‍යාල දෙකක් විශිෂ්ටතා මධ්‍යස්ථාන (Centers of Excellence) ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු අමාත්‍යවරයා දැනුවත් කළේය. පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා සහයෝගීතාවයේ ඇති වැදගත්කම අමාත්‍යවරයා මෙහි දි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ කලාපීය දියුණුව උදෙසා එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව මෙහි දී දෙපාර්ශවයේ විශේෂ අවදානය යොමු කෙරිණි. මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් නවවි, අධ්‍යක්ෂ (ජාත්‍යන්තර සබඳතා) ගීතානි කන්නන්ගර යන මහත්ම මහත්මීන් ද එක් විය