Spread the love

…!

නිමල් රාජපක්ෂ-

පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන්, පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරු හා කොන්දොස්තර මහතුන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සකස් කෙරෙන මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ ක්‍රියාවට නැංවෙන මෙම ක්‍රියාවලියේ තවත් එක් පියවරක් අද(26) පෙරවරුවේ නුගේගොඩ බස් නැවතුම්පොළදී ක්‍රියාත්මක කෙරිණි.

මෙම අහඹු පරීක්ෂණ වෙනුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සහභාගී වූ අතර, එම ආයතනයේ ජංගම පරීක්ෂණාගාර බස් රථය තුළ මෙම පරීක්ෂණ සිදු කෙරිණි.

නුගේගොඩ බස් නැවතුම්පොළේ ගාල් කෙරෙන බස් රථවල රියදුරන් සහ රිය සහායකයින් 172 දෙනෙකු පමණ මෙම අහඹු පරීක්ෂණ සඳහා යොමු කර තිබූ අතර, ඉන් 05 දෙනෙකු අන්තරායකර ඖෂධ භාවිත කර ඇති බවට තහවුරු විය.

මෙම පරික්ෂණ වාර්තාව නොමැති නම් ඉදිරියේදී බස් රථ ධාවනයට ගමන්වාර ලබා නොදෙන බව බස්නාහිර පලාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ මාර්ග පරීක්ෂක කේ.වී සමින්ත මහතා පවසා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

. අපි දැන් මාස 5 ක කාලයක සිට මේ මත්ද්‍රව්‍ය පරීක්ෂණය කරගෙන යනවා. ඇත්තටම මේකේ අපේ පළවෙනිම අරමුණ වෙලා තියෙන්නේ දැනට මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගෙන ඒගොල්ලන්ව ඒ මාර්ගයෙන් ඉවත් කරලා නැවත ඒගොල්ලෝ සේවය යොදවන්න. එහෙම නැතුව අපිට මේගොල්ලන්ට දඩුවම් කරන එක නෙවෙයි.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ,මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය වගේම ශ්‍රිලංකා පොලීසිය එකතුවෙලා තමයි අපි මේ පරීක්ෂණය කරන්නේ. එතකොට මේ පරීක්ෂණය අවසානයේ අපි සහතිකයක් ලබා දෙනවා. මෙයාලා මත්ද්‍රව්‍ය ලබාගෙනද නැද්ද කියලා. මේ වාර්තාව බලලා තමයි අපි මෙයාලට නැවත ගමන් වාර ලබා දෙන්නේ .මේ වාර්තාව අරගෙන නැත්නම් කොන්දොස්තර හා රියදුරුට සේවයේ යෙදෙන්න අපි අවස්ථාව දෙන්නේ නැහැ.මේ පරීක්ෂණය නොමිලේ කරගන්න පුළුවන් අවස්ථාව මේගොල්ලන්ට ලබා දීලා තියෙනවා. ඉදිරියේදි දිවයින පුරාම දිගටම අපි මේ පරීක්ෂණය කරනවා. මොකද මේකේ අරමුණ වෙලා තියෙන්නේ මුළු දිවයිනේම රියදුරු කොන්දොස්තර මහත්තුරු මේ මත් උවදුරෙන් මුදවාගෙන හොඳ විධිමත් ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යෑමයි.

එසේම, මෙම පරීක්ෂණ තුළින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් හඳුනාගතහොත්, ඔවුන්ට ආයතනික නීති පද්ධතිය යටතේ උපරිම දඩුවම් ලබාදීමටත්, රටේ පොදු නීතිය යටතේ ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු සූදානම් කර තිබේ.