Spread the love

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු දැඩි පීඩාවට පත්වී ඇතැයි ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.

, මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එක් ආපදා මරණයක්ද වාර්තා වී ඇති අතර එය මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ.

දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව මෙලෙස බලපෑමට ලක්ව සිටින සිටින අතර, පවුල් 489කට අයත් පුද්ගලයින් 1,310 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 8ක රඳවා සිටින බවද සඳහන්ය. 

තවද නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවද වාර්තා වෙයි.

අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර, එහි පමණක් පවුල් 474කට අයත් පුද්ගලයින් 1,264 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 19ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේය.

වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වේ.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව සහ මාගල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටආර ජලාශය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතී.

විශේෂයෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 1,567කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කෙරෙමින් පවතින බව සඳහන්ය.

එමෙන්ම ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,932කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරෙන අතර, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 708කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත මුදාහැරෙමින් පවතී.

මේ හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල ජනතාව සහ ගංඟා ආශ්‍රිතව ජීවත්වන පිරිස් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.