Spread the love


ශ්‍රී ලංකාවේ දෙහිවල අ‍මෙරිකානු උසස් අධ්‍යාපන විද්‍යාලය (ACHE), කැනඩාවේ ටොරොන්ටෝහි සෙනෙකා පොලිටෙක්නික් ආයතනය සමඟ එක්ව, ශ්‍රී ලාංකික සිසුන් සඳහා දැරිය හැකි සහ ගෝලීය වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර අධ්‍යාපන හවුල්කාරිත්වයක් නිල වශයෙන් ආරම්භ කළේය.

ව්‍යාපාර පරිපාලනය සහ පරිගණක විද්‍යාව පිළිබඳ 1+2 හෙවත් මෙරට එක් වසරක් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඉතිරි වසර දෙක කැනඩාවේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසෙන මෙම වැඩසටහන යටතේ උපාධිය මාරු කිරීමේ අවස්ථාව පිරිනැමීම සඳහා අවබෝධතා ගිවිසුමක් (MoU)අත්සන් කිරීම ඔස්සේ මෙම හවුල්කාරිත්වය විධිමත් කෙරිණි.
මෙම හවුල්කාරිත්වය පසුගියදා සෙනෙකා පොලිටෙක්නික්හි සභාපති ඩේවිඩ් ඇග්නිව් සහ සෙනෙකා ජාත්‍යන්තරයේ විධායක අධ්‍යක්ෂ ප්‍රශාන්ත් ශ්‍රීවාස්තව මහත්වරුන් අ‍මෙරිකානු උසස් අධ්‍යාපන විද්‍යාලයේ පැවති දියත් කිරීමේ උත්සවයට සහභාගි වීමත් සමඟ නිල වශයෙන් දියත් කරන ලදි.
මෙම අවස්ථාවට ACHEහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ෂෙරින් යසීන්, මෙහෙයුම් අධ්‍යක්ෂ වික්ටර් එස්. පැට්‍රික් මහතා; අධ්‍යයන අධ්‍යක්ෂ ආචාර්ය පද්මිණී සිරිමාන්න; පීඨ සාමාජිකයින්; කාර්ය මණ්ඩලය, සිසුන්, මවුපියන් සහ ශ්‍රී ලංකාව පුරා ප්‍රමුඛ පෙළේ පාසල් කිහිපයක නියෝජිතයෝ සහභාගි වූහ.
අලුතින් හඳුන්වා දුන් 1+2 උපාධි අපේක්ෂක මාරු කිරීමේ ක්‍රමවේදය යටතේ, ශ්‍රී ලාංකික සිසුන්ට ACHEහි ව්‍යාපාර පරිපාලනය හෝ පරිගණක විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ උපාධියේ පළමු වසර සම්පූර්ණ කර ඉතිරි වසර දෙකේ අධ්‍යයන කාලය සම්පූර්ණ කිරීම සඳහා කැනඩාවේ සෙනෙකා පොලිටෙක්නික් වෙත බාධාවකින් තොරව ප්‍රවේශවීමට අවස්ථාව සැලසේ. මෙම මාර්ගය සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් කැනේඩියානු සුදුසුකමක් උපයා ගැනීමට අවස්ථාව ලබා දෙන අතරම විදේශයන්හි අධ්‍යාපනය ලැබීමේ සමස්ත පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරයි.
රැස්ව සිටි පිරිස අමතමින්, ඩේවිඩ් ඇග්නිව් ජාත්‍යන්තර අධ්‍යයන හවුල්කාරිත්වයේ වර්ධනය වන වැදගත්කම අවධාරණය කළ අතර සෙනෙකා පොලිටෙක්නික් සහ ACHE අතර අධ්‍යයන විශිෂ්ටත්වය, ශිෂ්‍ය සාර්ථකත්වය සහ නවෝත්පාදනයේ බෙදාගත් වටිනාකම් ඉස්මතු කළේය. මෙම සහයෝගිතාව ශ්‍රී ලාංකික සිසුන්ට නි‍ෙවසට සමීපව අධ්‍යයන කටයුතු ආරම්භ කරන අතරම ලෝක මට්ටමේ කැනේඩියානු අධ්‍යාපනය සහ ජාත්‍යන්තර වෘත්තීය අවස්ථා වෙත ප්‍රවේශ වීමට දොරටු විවර කරන බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පවුල්වලට දැරිය හැකි සහ ප්‍රවේශ විය හැකි ගෝලීය වශයෙන් තරගකාරි අධ්‍යාපන මාර්ඟ සමඟ තරුණ ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීම සඳහා ආයතන දෙකෙහිම ශක්තිමත් කැපවීම මෙම හවුල්කාරිත්වය පිළිබිඹු කරන බව ඔහු තවදුරටත් පැවසීය.