Spread the love

නිමල් රාජපක්ෂ-

” මේ රටේ ජනතාව ජාතීන් ලෙස, ආගම් ලෙස, පක්ෂ ලෙස නොසිතා බෙදුණු, වෙන්වූ තීන්දු නොගත් නිසා වත්මන් ආණ්ඩුවට සියයට හැටක ජනවරමක් ලැබුණු බවත්, පසුගිය මාස දහඅටක කාලය තුල ජාතිය හෝ ආගම පදනම් කර ගනිමින් රටේ ජනකොටස් සැකයට හෝ අවිශ්වාසයට මේ රජය යටතේ ලක්නොවූ බවත් රටේ ජනතාව සිදුකල පරිවර්තනීය වෙනස මගින් උතුර පිළිගන්නා දකුණක් සහ දකුණ පිළිගන්නා උතුරක් සහිත සමානාත්මතාවය පවතින රටක් නිර්මාණය කරගෙන ඇති බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පලකලේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ආගමික සහජීවනය සහ සංහිඳියා ප්‍රවේශය පිළිබඳ සම්මන්ත්‍රණයේ සමාප්ති උත්සවයේ විශේෂ දේශනයට අද දින (.20) එක්වෙමිනි.

මෙම සම්මන්ත්‍රණය කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජැස්මින් ශාලාවේදී පැවැත්විණ.

අන්තර්කරණය, සංහිඳියාව සහ සමාජ සාධාරණත්වය මුල්කර ගනිමින් දිවයිනේ උතුරු, නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 16 ක ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සම්බන්ධ නියෝජිතයන්ගේ සහ සර්ව ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන්, සරසවි සිසුන්, කාන්තා නායිකාවන්, ජාතික හා පළාත් පාලන මහජන නියෝජිතයින් මෙම සම්මන්ත්‍රණයට එක්වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා,

” මේ රට මනුෂ්‍යත්වයට ගැලපෙන රටක් බවට පත්කර ගැනීමේ වගකීම අපි සියලු දෙනාටම තිබෙනවා. ඒ අභියෝගයට ආණ්ඩුව විදිහට විශාල වැඩ කොටසක් සිදුකල යුතුව තිබෙනවා. දේශපාලන නායකයින්, ආගමික නායකයින්, සමාජ නායකයින් විදියට සියලු දෙනාටම මේ සදහා වගකීමක් තියෙනවා. යුක්තිගරුක සමාජයක් තුල සාමය, සමගිය, සහෝදරත්වය ඇතිකර ගැනීම වෙනුවෙන් අත්හැරිය නොහැකි වගකීමක් අප සතුවෙනවා. එකිනෙකාගේ වෙනස්කම් හඳුනා ගනිමින්, විවිධත්වයට ගරු කරමින්, සමානාත්මතාවයෙන් යුතු සමාජයක් වෙනුවෙන් කැපවිය යුතු වෙනවා. සමාජ පරිවර්තනයට දායකවීම අවශ්‍ය වෙනවා.

රජයක් විදියට මේ වසර පහක කාලය තුල අදියර තුනකට බෙදා ගනිමින් රට තුළ ආර්ථික, දේශපාලන, සමාජයීය තත්ත්වයන් ගොඩනැංවීමට සැලසුම් කර ක්‍රියාත්මක කරනවා. එහිදී රටේ ස්ථාවරභාවය, වර්ධනය, පරිවර්තනය යන ප්‍රධාන ක්ෂේත්‍රයන් ඔස්සේ ජනවරමට අනුව ලැබුණු වසර පහක කාලය තුළ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. පසුගිය පාලන සමයන්වලදී ජාතීන් වශයෙන් විඳින්නට සිදුවූ පීඩාකාරී තත්ත්වයන් වර්තමානයේ සමනය වී තිබෙනවා. රටේ ඇතිවී තිබෙන ස්ථාවරභාවය තුළ දෙමල වීම නිසා හෝ මුස්ලිම් වීම නිසා පීඩනයක් ඇති වී නැහැ.

රටේ ජනතාව දේශපාලන සවිඥාණකම් මත, යුද්ධයෙන් ඉගෙනගත් පාඩම් මත, දේශපාලකයින්ගේ ක්‍රියාකාරකම්වල අවබෝධය මත අත්පත් කරගත් තත්ත්වයන් තුළින් 2024 මැතිවරණයෙන් ජාති, ආගම් මත පදනම් වූ කණ්ඩායම් සමතලා වුණා. ඒ අය බිම වැටුණා. ඒ වට්ටපු කණ්ඩායම් යලි නැගිටින්න හදනවා. මේ රටේ ජනතාව සිදුකර තිබෙන මහද්වීපික වෙනස පිළිගත යුතු වෙනවා. ආණ්ඩුවේ මාස දහඅටක කාලය තුල ජාතිකත්ව හෝ ආගම නිසා වැඩිපුර සැකය ඇතිවෙනවා කියන අදහස අඩුවේගෙන යනවා. ජනාධිපතිතුමා උතුරේ සහ දකුණේ ජනතාව අතරටම යනවා. විශ්වාසය ඇතිකර තිබෙනවා. අපි ඔබව සැක කරන්නේ නැහැ. සැකය, අවිශ්වාසය නැති කරන්න, අඩු කරන්න අපි අපේ භාවිතයෙන්ම කලහැකි දේ කර තියෙනවා. සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක කරනවා. දේශපාලන වාසි අරන් කිසිසේත්ම නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. ජාතිවාදයට, ආගම්වාදයට ආණ්ඩුව උදවු කරන්නේ නැහැ. පසුගිය කාලයේ තිබූ ආණ්ඩු ජාතිවාදයට දැනුවත්වම උදවු කලා. සමහර ආණ්ඩු ජාතිවාදී සරණ ගියා. දැන් තිබෙන්නේ ජාතිවාදයට උඩගෙඩි නොදෙන, මැතිවරණවලට ජාතිවාදය භාවිතා නොකරන ආණ්ඩුවක්.

නූතන පර්වර්තනීය ලක්ෂණ තේරුම් අරගනිමින් ජාතිවාදය නිසා වැටුණු අයට යළි නැගිටින්න දෙන්න එපා. ඉතිහාසයේදී ජාතිවාදය ඉන්වෙස්ට් කර, බෙදීම වර්ධනය කල පිරිස්වලට යළි ගසාකෑමට ඉඩ නොදිය යුතුයි. අපි රජයක් විදියට ජාතික සමගිය වෙනුවෙන් තැබූ එක අඩියක්වත් පස්සට නොගන්නා බව අවධාරණය කරනවා.’

මෙම අවස්ථාවට ඉලංගෙයි කමිල් අරසුකච්චි පක්ෂයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥාණම් ශ්‍රීධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා, අතුරුදන්වූවන්ගේ සංගමයේ සභාපති මහේෂ් කටුලන්ද, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සදහා වූ කාර්යාලයේ සභාපති වෛද්‍ය විජිත් රෝහන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු සියලු ජනවර්ග නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.