මුල්කිරිගල ගුණරත්න ……..
හුංගම පොලිස් වසමට අයත් දකුණු බටඅත , ලිදේයාය සුනාමි ගම්මානයට පිවිසෙන මාර්ගයේදී 03 වන දින රාත්‍රි ධීවරයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය .
මෙලෙස ඝාතනය කර ඇත්තේ අංක 135/3, සුනාමි ගම්මානය ,ලිදේයාය ,දකුණු බටඅත ලිපිනයේ පදිංචිව සිටි වනිගාබදුගේ සිරිල් කුමාර නොහොත් කොටි රාළහාමි නමැති 37 හැවිරිදි විවාහකයෙකි .
පුද්ගලයෙකු ලේ ගලන තුවාල සහිතව සුනාමි ගම්මානයට යන මාර්ගයේ වැටී සිටින බවට 03 වන දිනරාත්‍රි 09 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශය ට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ජීවිතක්ෂයට පත් ධීවරයාගේ මළසිරුර සොයාගත් බව පොලිසිය කීවේය .
තුවාලකරු රෝහලට රැගෙන යාමට සුවසැරිය ගිලන් රථයක් සිද්ධියවූ ස්ථානයට වහා ගෙන්වූවද කකුල් දෙකේ දණහිසට මදක් පහලින් තියුණු ආයුධයකින් පහරදීම නිසා බරපතළ තුවාල සිදුවී අධික රුධිර වහනය නිසා ඒ වනවිටත් ධීවරයා ජීවිතක්ෂයට පත්ව සිටි බවද පොලිසිය පැවසීය .
ඔහුගේ පිටුපසින් පැමිණි අයෙකු මෙම පහරදීම සිදුකර ඇති බවට නිරීක්ෂණයවූ බවද පොලිසිය සදහන් කළේය . ජීවිතක්ෂයට පත් අය මෙදින සවස් කාලයේ අධික ලෙස බීමත්ව සිටි බවද එවිට ඔහු කලහකාරී ලෙස හැසිරෙන බවද බීමත්ව පුද්ගලයින්ට සහ දේපළ වලට පහරදී අලාභහානි සිදුකර ඇති බවට මෙයට පෙර පොලිසියට පැමිණිලි කිහිපයක් ලැබී තිබුන බවද පොලිසිය කීවේය .
ඝාතනය සිදුකල සැකකරුවන් තවමත් අනාවරණය වී නැත .
අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් වරයා විසින් අද දින මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි . හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර විජේනායක මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
