ස්ථීර පත්වීම් නොලබා දැනට රාජ්‍ය ආයතනවල කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 6000 කට ආසන්න පිරිස ස්ථිර කිරීමේ පොදු තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) තනතුර සදහා 640 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ඊයේ (03)ප්රදානය අවස්ථාවේ ඇමතිවරයා එසේ පැවසුවේය.
සෞඛ්‍ය කාර්ය සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) ලෙස ස්ථිර පත්වීම් ලබාගැනීමට තවත් පිරිසක් සිටින බවත්, එවැනි ආකාරයේ ස්ථිර පත්වීම් නොලද විවිධ සේවාවන් හි නිරත 6000 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ආයතන තුළ දැනට සේවය කරමින් සිටින බැවින්, එම සියලු දෙනා සම්බන්ධයෙන් පොදු තීන්දුවක් ගත යුතුව තිබෙන බව ද එම උත්සවය අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
එම ගැටළුව ද කඩිනමින් නිරාකරණය කර ගත හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ අමාත්‍යවරයා ඒ අනුව දහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) පිරිසට පත්වීම් ලබා දී අවසන් කළ හැකි වනු ඇති බව ද සඳහන් කළේ ය. රාජ්‍ය සේවාව අනවශ්‍ය ලෙස බඳවා ගැනීම් සිදු නොකරනවා මෙන් ම දැනට බඳවා ගෙන සිටින රාජ්‍ය සේවකයින් ට අවශ්‍ය වෘත්තීමය පුහුණුව සහ දැනුම ලබා දී ඔවුන් යාවත්කාලීන කීරීමේ වගකීම රජය බාර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
මෙරට ජනතාවට වඩාත් උසස් මහජන සෞඛ්‍ය සේවාවක් සැපයීම අරමුණු කර සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් මෙම පත්වීම් ලිපි ප්‍රදානයට පියවර ගැනුණි.
ඒ අනුව වසර 08 කට ආසන්න කාලයක් කොන්ත්‍රාත් පදනම මත වරින් වර සේවය දීර්ඝ කරමින් සේවයේ යොදවා ගත් ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක ලෙස කටයුතු කළ 640 දෙනෙකුට මෙලෙස ස්ථීර පත්වීම් ලිපි ප්රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදි.
අද පත්වීම් ලබන මෙම කණ්ඩායම කොන්ත්‍රාත් පදනම මත ඉතා අඩු වැටුපකට වසර අටක් තිස්සේ සිය සේවා සපයමින්, දැඩි කැපවීම් සිදු කරමින් හා ජීවන අරගලයක යෙදෙමින් සිය සේවය ස්ථිර කරගන්නා තෙක් අඛණ්ඩව රැදී සිටි ධෛර්ය සම්පන්න කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අගය කරන බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම කණ්ඩායමට අනාගතයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සපුරා ගත යුතු ඉලක්කයන් ජයග්‍රහණය කරලීමට වඩා පුළුල්ව දායක විය ශක්තිමත් පිරිසක් බව තමා විශ්වාස කරන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඩෙංගු කළමණාකරණය නොව ඩෙංගු වලින් තොර රටක් බවට පත් කර ගැනීමේ ඉලක්කය සහිතව අඛණ්ඩව වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව ද මෙහි දී පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් ඩෙංගු රෝගීන් මෙන්ම, ඉන්ෆුවෙන්සා, චිකුන්ගුන්යා, කොවිඩ් වැනි රෝගින් වාර්තාවීමත් සමග රෝහල් පද්ධතියට පීඩනයක් ඇති වන බවත්, එම පිරිසට ප්‍රතිකාර ලබාදෙමින් ඔවුන්ගේ ජිවිත සුරක්ෂිත කරන අතරම ක්ෂේත්‍ර තුළ රෝග මර්දන කටයුතු සදහා ප්රමුඛ මෙන්ම අඛණ්ඩ වැඩපිළිවෙළක් තිබිය යුතු බව ද පැවසීය. අලුතින් පිහිටුවන පළාත් පාලන ආයතවල සහයෝගය ද සහිතව රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, මහජනතාව, ස්වේච්ඡා සංවිධාන සියලු දෙනාගේ දායකත්වය සහිතව මෙම අභියෝගය ජයගත යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සමස්ත ලංකා මදුරු මර්දන සහායකයින්ගේ සංගමය විසින් සමරු සිහිවටනයක් ද පරිත්‍යාග කරන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලනI) වත්සලා ප්‍රියදර්ශනී, (පාලනII) චාමික ගමගේ, (පාලනIII) ප්‍රභාත් යෝගචන්ද්‍ර, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර, සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතිඥ සමන්ත කෝරළේආරච්චි ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ පත්වීම්ලාභීන් ද එක්ව සිටියහ.
