නිමල් රාජපක්ෂ
කුවේටයේ මිනිස් බල අධිකාරිය යටතේ පවත්වාගෙන යනු ලබන රජයේ නිවාසය තුළ රැඳී සිටින ශ්‍රි ලාංකික කාන්තාවන් පිරිසක් පසුගිය සැප්තැම්බර් 25 වන දින උද්ඝෝෂණයක නිරත වෙමින් එය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ සිදුවීම කෙරෙහි එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශයේ විශේෂ අවධානය යොමුවූ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
එම නිවස්නයේ රැඳී සිටින පිරිස ශ්‍රි ලංකාවට එවීමට බලධාරීන් විසින් ප්‍රමාද කරන බවට අදාළ කාන්තාවන් විසින් සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල කර තිබිණි.
මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයාබැලූ තානාපති කාර්යාලය අදාළ කාන්තාවන්ගේ චෝදනා සාවද්‍ය බව සඳහන් කරයි. එම කාන්තාවන් ලියාපදිංචි වී රැකියා සඳහා පිටත්ව ගොස් ඇති නමුත් ඔවුන් තම රැකියා ස්ථානවලින් පැනගොස් ආගමන විගමන නීති උල්ලංඝණය කර ඇති අතර, තානාපති කාර්යාලය විසින් ඔවුන්ගේ ආරක්ෂාව සදහා රැඳවුම් නිවාසයට භාරදී තිබේ.
ශ්‍රි ලංකාවට ඉක්මණින් පිටත්වීමට අවශ්‍ය නම්, රැඳවුම් නිවස්නයේ සිට උද්ඝෝෂණය කර, එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලෙස ඔවුන්ට කිසියම් පිරිසක් විසින් වංචනික උපදෙස් ලබාදීම හේතුවෙන් එම කාන්තාවන් විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවට තානාපති කාර්යාලයට තොරතුරු ලැබී තිබේ. මෙවැනි නීතී උල්ලංඝන ක්‍රියා මගින් ඒ සඳහා උසිග්න්වන්නන් යම් යම් වෙනත් පෞද්ගලික වාසි ලබුවද එම ක්‍රියාවන් සඳහා යොමුවෙන ශ්රීලාංකිකයින්ට සිදුවෙන්නේ ඒ රටේ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව ලක්වී ලංකාවට පැමිණෙන ක්‍රියාවලිය සංකීර්ණ සහ නීතිමය කටයුතු හරහා සිදුවීමක් නිසා එවැනි ක්‍රියාමාර්ග වලින් වලකින්නැයි ඉල්ලා කාර්යාංශය ඉල්ලා සිටි.
කුවේටයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ආගමන නීති උල්ලංඝණය කිරිම හා සේවා ස්ථානවලින් පැනයාම වැනි කරුණු හේතුවෙන් කුවේටයේ පවතින නීතිරීතිවලට අනුකූලව විමර්ශන සිදුකිරීමෙන් පසු පිටත්වීමේ බලපත්‍ර ලැබෙන බවත්, එතෙක් එරටින් පිටත්ව යාමට නොහැකි බවයි. එරට පවතින නීතිරීතිවලට අනුව කටයුතු කිරීමට සියළු ශ්‍රි ලාංකිකයින්ට සිදුවන බවත්, උද්ඝෝෂණවල නිරතවීම මගින් කිසිඳු සහනයක් නොලැබෙන බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
එබැවින් කුවේට් රාජ්‍යයේ සේවය සඳහා පැමිණෙන සියළුම ශ්‍රි ලාංකිකයින් එරට නීති උල්ලංඝණය කිරීමට කිසිඳු අවස්ථාවක කටයුතු නොකරන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.
