Spread the love

මාලන් විතාන –

ආණමඩුව සිට තෝනිගල සහ ඌරියාව හරහා නවගත්තේගමට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ, රදවි බැඳි ඇල හරහා ඉදිකර තිබූ පාලම අසලින් මහා මාර්ගය දැඩි ලෙස සෝදාපාලුවට ලක්වීම හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. මී ඔයෙන් තබ්බෝව ජලාශයට ජලය ගෙන යන මෙම රදවි බැඳි ඇල හරහා දිවෙන මාර්ගය මෑතකදී ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙලෙස දෙකඩ වී ඇත.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් රදවි බැඳි ඇල සහ ඒ අවට ගම්මාන රැසක ජනතාවට තමන්ගේ එදිනෙදා ජීවනෝපාය කටයුතු මෙන්ම රාජකාරී අවශ්‍යතා සඳහා නවගත්තේගම නගරයට පිවිසීමට නොහැකි වී තිබේ. එසේම, ප්‍රදේශයේ පාසල් දූ දරුවන්ට ද පාසල් වෙත යාමට නොහැකි වීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇත

පවතින දැඩි දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින් නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ සෘජු මැදිහත්වීමෙන් මේ සඳහා කඩිනම් විසඳුමක් ලැබී ති‍බේ. ඒ අනුව, ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා කඩිනමින් සපුරාලීම වෙනුවෙන් එම ස්ථානයේ නව යකඩ පාලමක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා (20) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මීට පෙර මෙම ස්ථානය වැලි කොට්ට යොදා තාවකාලිකව පිළිසකර කිරීමට බලධාරීන් පියවර ගත්ත ද, පසුගිය දිනවල ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ එම තාවකාලික ඉදිකිරීම් ද නැවත වරක් ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.