Spread the love

නිමල් රාජපක්ෂ


ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන මුදල් සඳහා හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට විපක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද (2026 ජූනි 23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ,
“ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාවට එවන මුදල් සඳහා හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අසත්‍ය ප්‍රකාශ සිදු නොකරන ලෙස අපි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

මෙම මුදල් ප්‍රේෂණ කටයුතු සිදු කරන්නේ ලංකා බැංකුව සහ ග්ලෝබල් රෙමිට් නමැති ජාත්‍යන්තර සමාගම අතර පවතින සම්බන්ධතාවයක් මතයි. දැනට ග්ලෝබල් රෙමිට් සමාගම සම්බන්ධයෙන් ඊශ්‍රායල් රජය විසින් විමර්ශනයක් පවත්වාගෙන යනවා. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 5,100කට ආසන්න පිරිසක් මෙම ගැටලුවට මුහුණ දී සිටිනවා.

කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලාංකිකයින්ට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොව, ඊශ්‍රායලයේ සේවය කරන අනෙකුත් රටවල ශ්‍රමිකයින් ද මේ ගැටලුවෙන් පීඩාවට පත්ව සිටිනවා. සමස්තයක් ලෙස 11,400කට ආසන්න පිරිසක් මෙම තත්ත්වයෙන් බලපෑමට ලක්ව තිබෙනවා.”
තවදුරටත් අදහස් දැක්වමින්
“මෙය පොදු ගැටලුවක්. ග්ලෝබල් රෙමිට් ආයතනය මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් දැනට අත්හිටුවා (freeze) තිබෙනවා. ඉතා කෙටි කාලයක් තුළ ස්ථිර විසඳුමක් ලබාගත හැකි බව අපි විශ්වාස කරනවා. එමෙන්ම, අදාළ මුදල් ගෙවීමේ වගකීම තමන් භාරගන්නා බව ග්ලෝබල් රෙමිට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් මෙන්ම ආයතනික මට්ටමින්ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එබැවින්, ජනතාව වෙත නිවැරදි සහ සත්‍ය තොරතුරු පමණක් ගෙන යන ලෙස සියලු මාධ්‍ය වෙතින් ඉල්ලා සිටිනවා.”