නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (College of General Practitioners of Sri Lanka – CGPS) විසින් සංවිධානය කරනු ලබූ GP Sri Lanka ’26 – 51 වන වාර්ෂික අධ්‍යයන සැසිය (51st Annual Academic Sessions) කොළඹ Grand Maitland හෝටලයේ දී පැවැත්විණි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන ලද්දේ ඩිජිටල් තාක්ෂණය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව, ප්‍රවේශය සහ තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට උපකාරී වුවද, එම තාක්ෂණය වෛද්‍ය-රෝගී සබඳතාව ශක්තිමත් කරන අයුරින් භාවිතා කළ යුතු බවයි. “අපගේ අභියෝගය සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම පමණක් නොව, එම ඩිජිටල් තාක්ෂණය තුළත් මානුෂීය ගුණාංග ආරක්ෂා කිරීමයි” යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙවර සැසිවාරයේ තේමාව වුයේ “ඩිජිටල් යුගයේ කරුණාව, අඛණ්ඩතාව සහ පෙනී සිටීම: පවුලේ වෛද්‍යවරුන් මූලික කරගත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව” (Transforming Primary Care: General Practitioners at the Heart of the Community) යන්නයි.
ඉතා කාලෝචිත තේමාවක් යටතේ මෙවර සැසිවාරය ද පැවැත්වෙන බව මෙහි දී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝකය පුරා ජනගහන වයස්ගත වීම, බෝ නොවන රෝග වැඩිවීම, මානසික සෞඛ්‍ය ගැටළු, සෞඛ්‍ය වියදම් ඉහළ යාම සහ තාක්ෂණික පරිවර්තනය වැනි අභියෝග හමුවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධති ගොඩනැගෙන්නේ ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව මත බව පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන් රෝග විනිශ්චය සහ ප්‍රතිකාරයට පමණක් නොව, රෝගීන්ට උපදෙස්, විශ්වාසය සහ අඛණ්ඩ සත්කාර ලබාදීමේ අද්විතීය කාර්යභාරයක් ඉටු කරන බවත්, පරම්පරා ගණනාවක් පුරා පවත්නා වෛද්‍ය-රෝගී සබඳතා සම්පුුර්ණයෙන්ම තාක්ෂණයෙන් හෝ කෘත්‍රිම බුද්ධියෙන් ප්‍රතිස්ථාපනය කළ නොහැකි බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
