Spread the love

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන විශේෂයෙන් තෙත් කලාපීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන මෙම හීන් උදුපියලිය ශාකය උද්භිද විද්‍යාත්මකව Desmodium triflorum ලෙස හදුන්වන අතර Fabaceae පවුලට අයත් වේ. බිම වැතිරී අතු බෙදෙමින වැඩෙන දීප්තිමත් කොළ පැහැයක් ඇති ශක්තිමත් මූල් පද්ධතියකින් යුක්තය. මල ඉතා කුඩා දම් පාටට හුරු රෝස පාටය. බීජ හා කදන් කොටස් වලින් බෝවීම සිදු වන අතර අලුත් පසේ ඉක්මනින් පැතිරී වැඩේ.පස සෝදා යාමද අඩු කරන අතර පැතිරී වැඩුනු විට දර්ශනය ඉතා ප්‍රිය වේ.

ක්‍රමයෙන් ජනතාවගේ භාවිතයෙන් ඉවත්ව යන මෙම හීන් උදු පියලිය රෝග රැසකට ගුණ දේ.අපේ පැරණි මුතුන් මිත්තන් ඈත අතීතයේ සිටම නොයෙකුත් රෝග වලට නොයෙක් අවස්ථාවල ප්‍රයෝජනයට යොදා ගත් ඉතා වටිනා ඖෂධිය ගුණයක් ඇති ශාකයකි. රෝග තත්වයන් නොමැති වුවත් ඔවුන් සතියකට වරක් හෝ සාදන කොළ කැද සදහා අනිවාර්යෙන් එකතු කර ගන්නට අමතක නොකල ශාකයකි.

හොදින් පිරිසිදු කර ගන්නා ලද හීන් උදුපියලිය වලින් සකසා ගන්නා ලද කොළ කැද උදේ හිස් බඩට පානය කිරීමෙන් උදර දාහය අරුචිය ඇතුලු ආහාර මාර්ග ගත රෝග රැසකට ඉතා ගුණදායක වේ. හීන් උදුපියලිය පැතිරී වැඩුනු පොලව මත ඇවිදීමෙන්  පයට මෙන්ම ඇස් වලටද ඉතා ගුණදායක වේ. සෙම් පීනස් රෝග වලදී වැලදෙන දරැණු හිස රදයේදි හීන් උදු පියලිය සම්පූර්ණයෙන් ගෙන රතු ලූනු සමග හොදින් කොටා කුඩා පොට්ටනි බැද වණ්ඩුවේ තම්බා නලල දෙපස තැවීමෙන් හිස රදය අඩු කර ගත හැක.තවද හොරි දද වැනි සමේ රෝග වලදි පිරිසිදු හීන උදුපියලිය තල තෙල් සමග හොදින්  අඔරා ගෑමෙන් සුවය ලද හැකි වටිනා ඖෂධයකි. 

වෛද්‍ය නිලධාරි- කේ. ඒ. ගුණවර්ධන

මින් ඉදිරියට සෑම සදුදා දිනකම ඹෟෂධීය ශාකයක් පිළිබද විශේෂිතවු ලිපියක් බලාපොරොත්තුවන්න