Spread the love

කෘෂිකාර්මික බෝග සඳහා හානි සිදු කරන වන ජීවීන් පිළිබඳව පැවති ජාතික සංගණනයේදී දිස්ත්‍රික්ක 15ක නිවාස ඒකක සඳහා බෙදීමට තිබූ පත්‍රිකා එක්ලක්ෂ තිස්දහස් හැත්තෑ පහක් (1,30,075) ක් ඒවා බෙදීමට වගකීම් පැවරූ රාජ්‍ය නිලධාරීන් ඛෙදා දී නොමැත.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතින්, කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයෙන් ලබා ගත් තොරතුරු වලින් මේ බව අනාවරණය වේ.

එම තොරතුරු ලබා දී ඇත්තේ ද දිස්ත්‍රික්ක 15ක පමණක් බව එමගින් තහවුරු වේ.

තව ද වගා හානි සංගණනයේ එසේ පත්‍රිකා බෙදා නොතිබීම සම්බන්ධව තොරතුරු ලබා දී නැති දිස්ත්‍රික්ක 10 වනුයේ පොළොන්නරුව, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චි, මන්නාරම, වව්නියාව, මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල දිස්ත්‍රික්ක බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙසේ අදාළ තොරතුරු පත්‍රිකා බෙදා දීමේ රාජකාරී නිසි ලෙස ඉටු නොකළ පිරිසට ග්‍රාම නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, ආර්ථික සංවර්ධන, සමෘද්ධි සංවර්ධන, ක්ෂේත්‍ර නිලධාර්න් හා සංවර්ධන යන නිලධාරීහු අයත් වන බව එහි දැක්වේ.

එහිදී ද ග්‍රාම නිලධාරීන් විසින් දිස්ත්‍රික්ක 07ක ම පත්‍රිකා 51,937 ක් බෙදා දී නොමැත.

ඒවා පිළිවෙලින් ගම්පහ දිස්ත්‍රික්කයේ 21,147ක්, රත්නපුර 12,662ක්, කුරුණෑගල 6,032ක්, කෑගල්ල 5,639ක්, අනුරාධපුර 4,144ක්, ගාල්ල 2,153ක්, පුත්තලම 160 ක් වේ.

මේ අතර, දිස්ත්‍රික්ක 06ක ආර්ථික සංවර්ධන නිලධාරීන් බෙදා දී නොමැති පත්‍රිකා ගණන 11,588 කි. එම දිස්ත්‍රික්ක පිළිවෙලින් කුරුණෑගල 4824ක්, අනුරාධපුර 3548ක්, ගාල්ල 1722ක්, රත්නපුර 1309ක්, කෑගල්ල 95ක්, පුත්තලම 90 ක් වේ.

තව ද, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් දිස්ත්‍රික්ක 05ක අදාළ පත්‍රිකා 9749ක් බෙදා නොමැත. එම ලැයිස්තුව පිළිවෙලින් කුරුණෑගල 4,557ක්, අනුරාධපුර 2549ක්, ගාල්ල 1367ක්, රත්නපුර 1198ක්, කෑගල්ල 78ක් වේ.

මේ අතර, සමෘද්ධි සංවර්ධන නිලධාරීහු සත්ත්ව සංවර්ධන පත්‍රිකා 9,650ක් බෙදා දී නොමැත.

එම දිස්ත්‍රික්ක කුරුණෑගල 4,450ක්, අනුරාධපුර 2612ක්, ගාල්ල 1580, රත්නපුර 899ක්, කෑගල්ල 109 කි.

තව ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් සත්ත්ව සංගණන පත්‍රිකා 516ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් එම පත්‍රිකා 77ක් නිවාස වෙත බෙදා දී නොමැත.

2025/04/01 යොමු කළ තොරතුරු අයැදුමට තොරතුරු ලබා දීමට තවදුරටත් කාලය අවශ්‍ය බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්නගෙන් කළ විමසීමකදී අමාතයවරයා පැවසුවේ, වගකීම් ඉටු නොකරන නිලධාරීන්ට අදාළව රටේ පවතින නීතියට අනුව කටයුතු කරන බව ය.

ආයතන සංග්‍රහය වැනි දේවල් මගින් පැවරුණු රාජකාරී ඉටු නොකළ බව යම් තැනකදි හරියට ම තහවුරු වෙනවා නම් ඒ තහවුරු වීම් ඇතුළේ අදාළ ක්‍රියාමාර්ග ගැනිමට නොපැකිළෙන බව අමාතයවරයා සඳහන් කළේ ය.