නිමල් රාජපක්ෂ
ශ්‍රී ලාංකේය සුභාවිත ගීත කලාව පෝෂණය කිරීමෙහිලා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ දශක නවයකට අධික කලා ජීවිතය ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සංවිධානය කිරීමට යෙදුණ “නීල නුවන්” දේවානන්ද වෛද්‍යසේකර ප්රණාම ප්‍රසංගය ඊයේ (07) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකොන් මැදිරියේ දී පැවැත්විණි.
ප්‍රසංගයේ මිහිර විදින්නට ප්‍රධාන ආරාධිතයින් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දේවානන්ද වෛද්‍යසේකර මහතා කලා ක්ෂේත්රයට කළ මෙහෙවර අගයා ගෞරව හරසර ප්රණාම පුද කරමින් සමරු ඵලක ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතූළු සම්භාවනීය ආරාධිත අමුත්තන් අතින් මෙහිදී සිදු කෙරිණි.
එමෙන්ම කලා ක්ෂේත්රයේ ප්‍රවීණයින් සහ විද්වතුන් රැසක් දේවානන්ද වෛද්‍යසේකර මහතා මෙරට කලා ක්ෂේත්රයට සිදු කළ මෙහෙවර මෙහි දී ඇගයීමට ලක් කරනු ලැබූහ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේ වෘත්තීය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කලා සේම ගීතය නැමැති ඖෂධයෙන් ද පරම්පරා ගණනාවක රසික ජනතා හදවත් සුවපත් කරමින් කළ මෙහෙවර මෙම අවස්ථාවේ ඇගයීමට ලක් කරන බවයි. මෙවැනි කලාකරුවන් ජාතික සම්පත් බව ද ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපතිතුමාගේ මූලිකත්වයෙන් ගුවන් විදුලියේ පැරණි සංස්කෘතික බලකණු රැසක් මෙවැනි ආකාරයෙන් උපහාරයට ලක්කිරීමට මේ වන විට වැඩසටහන් සම්පාදනය කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහි දී අවධාරණය කර සිටියේය.
ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ ආචාර්ය නන්දා මාලනිය නමින් මැදිරියක් නම් කළ අතරම ජායාරූපයක් විවෘත කළ බවත්, ආචාර්ය වික්ටර් රත්නායක මහතා නමිනුත් එම ආකාරයෙන්ම කටයුතු සිදුකළ බවත්, එම කටයුතු කෙරෙන අතරේ දේවානන්ද වෛද්‍යසේකර මහතා අද දින උපහාරයට ලක් කෙරෙන බව ද පැවසීය.
වෛද්‍යසේකර කෙනෙක් වෛද්‍යවරයෙක් වීම පුදුමය දනවන්නක් නොවුනත්, වෛද්‍යසේකර කෙනෙක් මහා සංගීතඥයෙක්වීම විමතියට පත්වන්නක් බවත්, එම විමතිය අද දකින බව ද සඳහන්කර සිටියේය.
“නීල නුවන් මානෙල් මල්”, “සතුට විලයි සැපත මලයි” වැනි අමරණීය ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනාගත් වෛද්‍යසේකර මහතා, හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයේ පසුබිම් ගායනයෙන්ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ශිල්පියෙකි.
එතුමා, මෙරට ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියෙකු ලෙස සැලකෙන අතර, දේශීය සංගීත ක්ෂේත්රයට ඉටු කළ අමිල මෙහෙවර වෙනුවෙන් එතුමා මීට පෙර “සංගීතාභිමානී” රාජ්‍ය සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.
එතුමාගේ සුවදුක් විමසීම මෙන්ම කලාකරුවෙකු ලෙස ඉටුකළ මෙහෙවර අගය කිරීම මෙවැනි වැඩසටහන්වල මූලික අරමුණ වේ.
මෙහී දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සියවසක මෙහෙවර වෙනුවෙන් රචිත “සියවසක සිහනඳ” ග්‍රන්ථය ජනගත කිරීම කිරීම ද ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) වත්මන් සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහතා අතින් සිදු කළ අතර, එම ග්‍රන්ථයේ පිටපතක් දේවානන්ද වෛද්‍යසේකර මහතාට ද පිළිගැන්විණි.
මෙම අවස්ථාවට සමිභාවනීය ආරාධිතයින් ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ද එක්ව සිටි අතර, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) වත්මන් සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහතා ඇතුළු කලා ක්ෂේත්රයේ ප්‍රවීණයින් වන කීර්ති පැස්කුවෙල්, සනත් ගුණතිළක, ජානක වික්‍රමසිංහ, ඉන්ද්‍රානි පෙරේරා යන කලාකරුවන් විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
