Spread the love

දේවින්ද පිණිදිය

දේශපාලනය සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් නොවන බවත් රාජ්‍ය පාලනයේදී අප ගන්නා සෑම තේරීමක් සහ තිරණයක්ම හැඩගස්වනු ලබන්නේ ඒ මගින් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මැයි 19 දින සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ 60 වන සංවත්සර සඳහා පැවැති සමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කළාය.

ඊයේ( 18) පස්වරුවේ මෙරටින් පි⁣ටත්ව ගිය අග්‍රාමාත්‍යතුමිය ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට ලන්ඩන්හි හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ළඟා වුහ. හිත්‍රෝ ගුවන් තොටුපළේදී අග්‍රාමාත්‍යවරිය ඇතුළු පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඒ සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා, එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගේ විශේෂ නියෝජිත සහ ශ්‍රී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් රිචඩ් විල්ඩෑෂ් මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

අනතුරුව අද (19) උදෑසන, බ්‍රයිටන්හි පිහිටි සසෙක්ස් විශ්වවිද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, සංවර්ධන අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අනු ජෝෂි, මහාචාර්ය මික් මුවර් සහ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් විසින් පිළිගනු ලැබීණි.

එහි පැවැති ප්‍රසිද්ධ රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන හා ආර්ථික අත්දැකීම් පාදක කරගනිමින් දේශපාලනය, යහපාලනය සහ සංවර්ධනය අතර ඇති අන්‍යෝන්‍ය සබැඳියාව පිළිබඳව පැහැදිලි කළාය. මහජන අපේක්ෂාවන් ඉටු කරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම ආරක්ෂා කරමින්, රාජ්‍ය පාලනය, ආර්ථික පුනරුත්ථාපනය, සමාජ ආරක්ෂණය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සමබරව පවත්වාගෙන යාමේදී ඇති වන අභියෝග පිළිබඳව මෙහිදී අවධාරණය කළාය.

එසේම, වැටුප් ලබන සහ නොලබන රැකවරණ සේවාවන්, ජාතික ආර්ථිකයේ මධ්‍යම සංරචකයක් ලෙස හඳුනාගැනීමට රජය දක්වන ප්‍රතිපත්තිමය අවධානය සහ රැකවරණ ක්ෂේත්‍රය තුළ කාන්තාවන් මුහුණ දෙන අභියෝග මෙන්ම ඔවුන්ගෙන් සිදුවන දායකත්වය ද අග්‍රාමාත්‍යවරියගේ විශේෂ ඇගයීමට ලක් විය.

අනතරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෝලීය සහ කලාපීය අධ්‍යයන අංශයේ විශේෂ දේශනයකට සහභාගී වීමට නියමිතය. විද්වතුන් සහ සිසුන් සමඟ පැවැත්වෙන අන්තර් ක්‍රියාකාරී සාකච්ඡාවකට හා එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) මහත්මිය, අධ්‍යාපන රාජ්‍ය ලේකම් බ්‍රිජට් පිලිප්සන් (Bridget Phillipson) මහත්මිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ශර්ලි අයෝකෝ බොච්වේ (Shirley Ayorkor Botchwey) මහත්මිය ඇතුළු එක්සත් රාජධානියේ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් රැසක් හමුවීමට ද නියමිතව තිබේ