Spread the love

නිමල් රාජපක්ෂ

නීතියෙන් දඬුවම් ලැබ වරදකරුවන් වු පුද්ගලයින් බන්ධනාගාරගත කරනු ලබන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමේ අරමුණින් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් සිරසර ශිල්ප 2025 කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සව අවස්ථාවට බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී අද ( 15) පෙරවරුවේ එක්වෙමිනි.

සමාරම්භක උත්සවය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.

මෙය ඉතා වැදගත් උත්සවයකටත් වඩා වටිනා ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකියි. වැරදි කළ පුද්ගලයින් බන්ධනාගාරගත කරනු ලබන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමටයි. වසර ගණනාවක් තිස්සේ අඩු පහසුකම් මෙන්ම පැවති ක්‍රමවේදය හරහා බන්ධනාගාර ගත කිරීමේ අරමුණු නිසි පරිදි ඉටු වුයේ නැහැ. සිර දඬුවම් විඳි පුද්ගලයින් පිළිබඳව සමාජයේ පවතින වැරදි ආකල්ප හේතුවෙන් ඔවුන්ට රැකියාවක් පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයන් තිබෙනවා. රැඳවියන්ට බන්ධනාගාරගත කාලය තුළ පුහුණුවීම්වලින් හා හැකියාවෙන් පිරි පුද්ගලයින් බවට පත්විමට මෙන්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමේ වටපිටාව සකස් කර තිබෙනවා. සමාජ ගත වු පසු යහපත් අනාගතයක් පවතින බවට වු ආත්ම විශ්වාසය රැඳවියන්ට ලබා දිය යුතුයි. කුමන බාධක පැමිණියත් ශක්තිමත්ව ඉදිරියට යා යුතුය යන හැඟීම බන්ධනාගාර නිලධාරීන් විසින් ඇති කර ගත යුතුයි. සිරගතව සිටින සිරකරුවන් අපරාධකරුවන් නොව දක්ෂ පුද්ගලයින් බව මෙවැනි ප්‍රදර්ශන තුළින් මනාව පැහැදිලි වන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.

වීඩියෝව නරඹන්න

දිවයිනේ බන්ධනාගාර 28ක රැඳවියන් විසින් කළ නිර්මාණාත්මක කුසලතා විදහා දැක්වෙන සිරසර ශිල්ප 2025 ප්‍රදර්ශණ පරිශ්‍රයේ ස්ථාපිත වීඩියෝ පුවරුව වීවෘත කිරීමට සහ ප්‍රදර්ශන කුටි නැරඹීමට ද කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය පිරිස එක් විය.

ප්‍රදර්ශන කුටි නැරඹීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අධිකරණ අමාත්‍යතුමා මෙසේ පැවසීය.

සිරකරුවන්ගේ හැකියාවන් වෙනුවෙන් වටිනාකමක් ලබාදීමට මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම අගය කළ යුතුයි. මෙම ප්‍රදර්ශනය නරඹා රැඳවියන්ගේ දක්ෂතා දැක ගනිමින් භාණ්ඩ මිළට ගැනීමට පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ගේ නිර්මාණ මිළට ගෙන දක්වන සහයෝගය ඔවුන්ව තවදුරටත් උද්යෝගීමත් කිරීමක් ලෙස සඳහන් කළ හැකි බව ද අමාත්‍යතුමා සදහන් කළේය.