නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් අද (15) පෙරවරු 10.30ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී සිදු කළ ඉලක්කගත මත්ද්‍රව්‍ය අනාවරණ මෙහෙයුමකදී රුපියල් මිලියන 108 කට අධික වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 60ක ඉන්දීය ජාතිකයෙකු වන අතර වෘත්තියෙන් භූ විද්‍යාඥයෙකු බව අනාවරණය වී ඇත. ඔහු උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයට අයත් QR 664 දරණ ගුවන් යානයෙන් පැමිණ තිබුණි.
සැකකරුගේ ගමන් මලු රේගු නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවේදී ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් ග්‍රෑම් 2,150ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් කොකේන් තොගයේ ආසන්න වීදි වටිනාකම රුපියල් මිලියන 108ක් පමණ වන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වැටලීම ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලබන බුද්ධි තොරතුරු මත පදනම් වූ විශ්ලේෂණ, සමීප නිරීක්ෂණ සහ පරීක්ෂණ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස සිදුකර ඇති අතර, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාල මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් ගෙන යන අඛණ්ඩ මෙහෙයුම්වල තවත් සාර්ථකත්වයක් ලෙස සැලකේ.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් මූලික විමර්ශන සිදුකරමින් පවතින අතර, සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන හා නීතිමය ක්‍රියාමාර්ග සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතය.
