නිමල් රාජපක්ෂ-
රුපියල් මිලියන 1600 ක වියදමකින් දිස්ත්‍රික් 25 තුළ තරුණ කෘෂි ව්‍යවසායක්ව ගම්මාන 6 බැගින් ගම්මාන 160 ක් ස්ථාපිත කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
මෙහි එක් ගමකට රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති තිබේ.
තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා ආකර්ශණය කර ගැනීම මෙහි අරමුණ වන අතර ඔවුන්ට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම, දේශීය වෙළෙදපළ මෙන්ම අපනයනය ඉළක්ක කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම මෙන්ම ඉහළ ඉල්ලුමක් පවතින කෘෂි නිෂ්පාදන සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීම මෙම වැඩ පිළිවෙළෙහි අරමුණ වේ.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (16) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවී කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැත්විනි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශයේ නිලධාරිහු මෙන්ම පළාත් කෘෂිකර්ම නිලධාරිහු සහ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සියලු නිලධාරිහු සහභාගි වූහ.
මෙම වැඩ සටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. එමෙන්ම මේ සඳහා අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් මෙම වසර සඳහා ලබා දී තිබේ. ඒ අනුව රුපියල් මිලියන 1600ක මුදලක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සඳහා ලබා දීමට සැලසුම් කර ඇත.
මේ යටතේ එළවළු, පලතුරු, අනෙකුත් බෝගවර්ග, වැවිලි බෝග, මත්ස්‍ය නිෂ්පාදන ආශ්රිත කර්මාන්ත, ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, පශු සම්පත් ආශ්රිත නිෂ්පාදන ආදි කර්මාන්ත සඳහා වන ව්‍යාපෘති මෙම ගම්මාන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
