නිමල් රාජපක්ෂ
මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වනවිට පුළුල් වැඩසටහනක් සම්පාදනය කර ඇත. රෝග විනිශ්චය සේවා නවීකරණය හා පුළුල් කිරීමේ කටයුතු සඳහා ප්රමුඛත්වයක් ලබාදෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
එම වැඩසටහන තුළ දිවයින පුරා රෝහල්වල සීටී (Computed Tomography) ස්කෑනර් සේවා පුළුල් කිරීම හා නවීකරණය කිරීමේ කාර්යයට ප්රමුඛත්වයක් ලබාදී ඇති අතර, ඒ අනුව අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රෝහල්වලට නවීන තාක්ෂණික සීටී ස්කෑනර් යන්ත්‍ර ලබාදීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මකව පවතී.
ඒ යටතේ කළුතර ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 200 කට අධික වටිනාකමකින් යුත් 128 – ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍රයක් සහ කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 160 ක වටිනාකමකින් යුත් සීටී ස්කෑනර් යන්ත්‍රයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව මඟින් මේ වනවිටත් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර යටතේ, ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ කොළඹ දකුණු ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 640 ක පමණ වටිනාකමකින් යුත් නවීනතම CT ස්කෑනර් හතරක් ද දැනටමත් ලබාදී ඇති අතර, ඒවායේ ස්ථාපන කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.
කුලියාපිටිය ශික්ෂණ රෝහල සහ දඹුල්ල, නාවලපිටිය, හලාවත, මන්නාරම යන දිස්ත්‍රික් මහ රෝහල් සඳහා රුපියල් මිලියන 950 ක වටිනාකමකින් යුත් අතිනවින සීටී ස්කෑනර් මිලදි ගැනිම සඳහා දැනට කටයුතු සම්පාදනය වෙමින් පවතී.
දීර්ඝ කාලයක් පුරා බොහෝ රජයේ රෝහල්වල රෝග විනිශ්චය සඳහා යොදා ගැනුණේ 16-ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍ර වේ. එම යන්ත්‍ර රෝගීන්ට ප්‍රයෝජනවත් සේවාවක් සපයා තිබුණ ද, වර්තමාන වෛද්‍ය තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉතා කෙටි වේලාවක් තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රූප සහ වඩා නිවැරදි රෝග විනිශ්චයන් ලබාගත හැකි 64-ස්ලයිස් සහ 128-ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍ර සඳහා අවශ්‍යතාවය මෙරට රෝහල් පද්ධතියට දැඩි ලෙස අවශ්‍යව තිබුණි.
මෙම අවශ්‍යතාව හඳුනා ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දිවයිනේ රෝහල් සඳහා නවීන සීටී ස්කෑනර් ලබාදීමේ පුළුල් වැඩසටහන ආරම්භ කරනු ලැබීය.
