Spread the love

නිමල් රාජපක්ෂ-

කොළඹ නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ජනතාව පදිංචිව සිටින මහල් නිවාස සංකීර්ණවල පදිංචිකරුවන්ගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා විශේෂ වැඩසටනක් රජය විසින් ආරම්භ කර ඇත.
ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, නාගරික සංවර්ධන අධිකාරිය මගින් metro uplift වැඩසටහන මහල් නිවාස සංකීර්ණ නවීකරණ කටයුතු සඳහා මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතී.

කොළඹ 09, දෙමටගොඩ, මිහිදුසෙන්පුර සහ සියපත් සෙවණ නිවාස සංකීර්ණවල ක්‍රියාත්මක metro uplift ව්‍යාපෘති ක්‍රියාත්මකවන ආකාරය සොයා බැලීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ දින (2026.06.20) එහි ක්ෂේත්‍ර පරික්ෂාවකට එක්විය.

එහිදී එම නිවාස සංකීර්ණවල ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍යවන ස්ථාන නිරීක්ෂණයට ලක් කෙරිණ. ගිනි නිවන පද්ධති, ගිලා බැස ඇති පදික වේදිකා, මෑන් හෝල්, ජලපවාහන පද්ධති, කාණු පද්ධති, පොදු ප්‍රදේශවල විදුලි ආලෝකය, කසල බැහැරකිරීම, මායිම් තාප්ප, ආරක්ෂිත කැමරා පද්ධති, පොලිස් මුරපොල ඇතුළු ජනතාවට අත්‍යවශ්‍ය පහසුකම් නවීකරණය සඳහා නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණ.

2013 වසරේ ආරම්භ කරන ලද දෙමටගොඩ “මිහිඳු සෙන්පුර” නිවාස සංකීර්ණය පර්යන්ත 6කින් සහ නිවාස ඒකක 820කින් සමන්විත වේ. metro uplift ව්‍යාපෘතිය මගින් මෙහි නවීකරණ කටයුතු සිදුකරන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 249ක් වැයකෙරේ.
2018 වසරේ ජනතා අයිතියට පත්කරන ලද දෙමටගොඩ “සියපත් සෙවණ” නිවාස සංකීර්ණය පර්යන්ත්‍ර 03කින් හා නිවාස ඒකක 702කින් සමන්විත වේ. රුපියල් ලක්ෂ 66.8ක් වැයකර metro uplift ව්‍යාපෘතියෙන් සියපත් සෙවණ නිවාස සංකීර්ණය නවීකරණය සිදුකෙරේ. මීට අමතරව මහල් නිවාස දෙකෙහිම මලාපවාහන පද්ධතිය අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 203ක මුදලක් වැයකිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

“අඩු ආදායම්ලාභී ජනතාව ජීවත්වෙන මහල් නිවාස 27ක් තිබෙනවා. එම නිවාසවල අඩුපාඩු, ගැටළු රැසක් මධ්‍යයේ ජනතාව දිවි ගෙවනවා. ප්‍රශ්ණ අති විශාලයි. මූලික සැලැස්මේ සිට අඩුපාඩුකම් පැවතීම මීට හේතුවයි. දීර්ඝ කාලයක් නිසි නඩත්තු කටයුතු සිදුකර නැහැ. පිළිවෙලකට නඩත්තුකරණය නොවීම තුල, ජීවත්වීමට හිතකර පරිසරයක් අහිමි වීම තුල, මිනිසෙක්, යකෙක් කරන පරිසරයක් හැදිල තිබෙනවා. නාගරික සංවර්ධනයේ මූලධර්ම කඩාබිඳලා ඉදිරියට යන්න බැහැ. එම නිසා ආණ්ඩුව විදියට මේ ජීවිත පරිවර්තනය කරන්න අවශ්‍ය පරිසරය ගොඩනැගිය යුතු වෙනවා. මේ වසර තුල පමණක් රුපියල් මිලියන 1500ක් වෙන්කර, මහල් නිවාස පද්ධතිවල ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කරනවා. ආණ්ඩුව ඔබ වෙනුවෙන් වියදම් කර ගොඩනගන සියලු දේ ජනතාව මැදිහත් වී, කමිටුගත වෙලා, නායකත්වය ලබාදී ඇත්ත නිවාසලාභියෙකු ලෙස කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. “

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී.හේමචන්ද්‍ර, එහි අධ්‍යක්ෂ ජනරාල් දමින්ද දිසානායක, බොරැල්ල-ජාතික ජනබලවේග සංවිධායක අමිල පැතුම්, කොළඹ මහනගරසභා මන්ත්‍රීවරුන් වන, සුදත් හෙට්ටිආරච්චි, ඉසුරු ලක්මාල්, දිල්ශාන් ප්‍රභාශ්වර, මහල් නිවාස කලමණාකරු එන්.ජයතිස්ස යන මහත්වරු ඇතුළු නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.