Spread the love

නිමල් රාජපක්ෂ

ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී සිදු කෙරිණි.

මෙතෙක් කාලයක් ශ්‍රී ලාංකික PayPal ගිණුම් “මුදල් යැවීමට පමණක්” (Send Only) සීමා වී තිබූ අතර, එමඟින් පරිශීලකයින්ට විදේශයන්ට ගෙවීම් කිරීමට හැකි වුවද ජාත්‍යන්තර සේවාදායකයින්ගෙන් මුදල් මෙරටට ලබා ගැනීමට නොහැකි විය. මෙම සීමාව ශ්‍රී ලාංකික නිදහස් වෘත්තිකයන්ට සහ ව්‍යාපාරවලට විශාල බාධාවක්ව පැවතුණි. මෙම සේවාව පුළුල් කිරීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ඉපයීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකි වන අතර, එමඟින් රටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණය ද ඉහළ යනු ඇත.

වසර දොළහකට අධික කාලයක් තිස්සේ පැවති සාකච්ඡා, ප්‍රමාදයන් සහ අඛණ්ඩ උත්සාහයන් රැසකින් අනතුරුව ළඟා කර ගත් මෙම ප්‍රගතිය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය, නිදහස් වෘත්තික (Freelancer) ප්‍රජාව, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ආරම්භක ව්‍යාපාර (Startups), සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, අපනයනකරුවන් සහ ඊ-වාණිජ්‍ය (e-commerce) ආශ්‍රිත කර්මාන්ත ආදිය සඳහා සුවිශේෂී පරිවර්තනීය පියවරක් ලෙස හැඳින්විය හැකිය.

මෙම සහයෝගීතාව අනුව, ආරම්භයක් ලෙස, ලංකා බැංකුව (BOC), කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු මගින් PayPal සේවා මෙරට තුළ ක්‍රියාත්මක වනු ඇති අතර, ඉදිරි කාලයේදී අනෙකුත් බැංකුද මේ සමඟ එක්වනු ඇත.

1998දී කැලිෆෝනියාවේ ආරම්භ කරන ලද PayPal ආයතනය ලොව විශාලතම ඩිජිටල් ගෙවීම් වේදිකාවලින් එකක් වන අතර, එය රටවල් 200කට අධික සංඛ්‍යාවක පරිශීලකයින් මිලියන 430කට වඩා වැඩි පිරිසකට සේවා සපයමින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5කට වඩා වැඩි ගනුදෙනු ප්‍රමාණයක් සිදු කරයි. එය ගෝලීය නිදහස් වෘත්තික වේදිකාවල මෙන්ම ඊ-වාණිජ්‍ය වේදිකාවලද බහුලව භාවිත වේ.

මෙරට ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කරුණු වන සියලු දෙනා ඇතුළත් කරගත් ආර්ථිකයක් ඇති කිරීම, ඩිජිටල් ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ සම්බන්ධතාව ශක්තිමත් කිරීම ආදී අරමුණු ළඟා කර ගැනීම සඳහා මෙම සහයෝගිතාව ඉතා වැදගත් වනු ඇත.

දේශසීමා අතර ගෙවීම් සේවා පුළුල් කිරීම හේතුවෙන් මෙරට කුඩා ව්‍යාපාර සහ ව්‍යවසායකයින්ට ගෝලීය වෙළෙඳ කටයුතු සඳහා වඩාත් සක්‍රීයව දායක වීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

මෙම සේවාවන් ලබා ගන්නා ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අදාළ බැංකු විසින් ඉදිරියේදී සිය පාරිභෝගිකයන් දැනුවත් කරනු ඇති අතර, වැඩිදුර තොරතුරු අවශ්‍ය පුද්ගලයන්ට හෝ ව්‍යාපාරිකයන්ට තමන් ගනුදෙනු කරන බැංකුව සෘජුවම සම්බන්ධ කරගෙන ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකිය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දුන්නේ වත්මන් රජයේ ආර්ථික වර්ධන සැලැස්ම සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම යන මූලික ප්‍රතිපත්ති වටා ගොඩනැඟී තිබෙන බවත් එහිදී මෙම ඩිජිටල් පරිවර්තනය සුවිශේෂී අංගයක් බවත්ය.

මෙම සහයෝගීතාව අප සියලු දෙනා බලාපොරොත්තු වන ප්‍රතිලාභ උදා කර දෙනු ඇතැයි විශ්වාසය පළ කළ අග්‍රාමාත්‍යවරිය ආර්ථික ස්ථායීතාව ඇති කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට පමණක් නොව, අනෙක් අයව අනුගමනය කරන්නෙක් පමණක් නොවී, අපටම අනන්‍ය හැකියාවලින් යුතු ශක්තිමත් සහ විශ්වාසදායී රටක් ලෙස කලාපීය සහ ගෝලීය වශයෙන් ස්ථානගත කිරීමටද මෙය ඉවහල් වනු ඇතැයි ප්‍රාර්ථනා කරන බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මෙය සැබැවින්ම අනුස්මරණීය මොහොතක්. ඩිජිටල් ආර්ථිකයේදී ශ්‍රී ලංකාවේ භූමිකාව ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙමින් පවතින බව මෙන්ම කලාපීය මෙන්ම ගෝලීය වශයෙන්ද ස්ථාවරභාවයක් ගොඩනගා ගැනීමට හැකි වී ඇති බව මෙයින් සනාථ වෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් අපට ඉහළ ඉලක්ක පවතිනවා. ඉදිරියේදී මෙය ආර්ථික වර්ධනය සඳහා ඉවහල් වන ක්ෂේත්‍රයක් මෙන්ම රැකියා උත්පාදනය සඳහා මූලාශ්‍රයක් වනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙම ක්ෂේත්‍රය තුළ ඉතා දක්ෂ නිදහස් වෘත්තිකයන් (Freelancers) රැසක් අප සතුව සිටිනවා. විනිවිදභාවයෙන් යුත් සහ සුරක්ෂිත මූල්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත කිරීම, උපායමාර්ගිකව මෙන්ම මෙම ක්ෂේත්‍රය තුළ අපගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමටද ඉතාම වැදගත්. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME),  මාර්ගගත සේවා, ඊ-වාණිජ්‍යය (E-commerce) සහ ඩිජිටල් ආර්ථිකය යන මේ සියල්ලම එකිනෙකට සමීපව බැඳී තිබෙනවා. ඉදිරි මාස සහ වසර කිහිපය තුළදී  වඩාත් ආකර්ෂණීය නව අවස්ථා උත්පාදනය කරතැයි අපේක්ෂා කළ හැකි, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ක්ෂේත්‍රයක් ලෙස මම මෙය දකිනවා.

එසේම, මාර්ගගත සේවා සහ ගෙවීම් වඩාත් ආරක්ෂිත, නීත්‍යානුකූල සහ වගකීම් සහගත පද්ධතියක් යටතට පත්වීම ඉතාම වැදගත් බව මම විශ්වාස කරනවා. වංචනික ක්‍රියා, අනාරක්ෂිත පද්ධති සහ සැක සහිත ගනුදෙනු පිළිබඳව ගෝලීය වශයෙන් උද්ගත වන තත්ත්වයන් අප දැක තිබෙනවා.

එනිසා අප ඉදිරියට යන විට, වගවීම සහ ආරක්ෂාව සහතික කරන, ගෝලීය වශයෙන් පිළිගත් සහ අනෙකුත් සේවා සමඟ ඒකාබද්ධ වූ වේදිකාවක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කරුණක්.

අප ඩිජිටල් ආර්ථිකය, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සහ ඊ වාණිජ්‍යය යන ක්ෂේත්‍ර පුළුල් ලෙස වර්ධනය කළ හැකි විභවතා සහිත ක්ෂේත්‍ර ලෙස සලකනවා. අපේ ආර්ථික වර්ධන සැලැස්ම මූලික ප්‍රතිපත්ති දෙකක් වටා ගොඩනැඟී තිබෙනවා. එනම්, සාධාරණත්වය, විනිවිදභාවය සහ  වගවීමයි.

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය පුළුල් කිරීම, නිදහස් වෘත්තිකයන්ට අතහිත දීම, ඊ- වාණිජ්‍යය වර්ධනය කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම ආදිය ගැන සිතන විට, අපේ රට දීර්ඝ කාලයක සිට මුහුණ දී ඇති ගැටලු වන සමාජ අසාධාරණත්වය, ආර්ථික අසමානතාව සහ සංවර්ධනයේ පවතින දැඩි විෂමතාවලටද විසඳුම් සෙවිය යුතු වෙනවා. අපේ සංවර්ධනය සැමටම  ප්‍රතිලාභ ලැබෙන, සාධාරණ මෙන්ම සමාජීය වශයෙන් වගකීම් සහගත එකක් විය යුතුයි.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා

දක්ෂ පුද්ගලයින්, ගෝලීය වශයෙන් තරගකාරී නිෂ්පාදන සහ අනාගතය පිළිබඳ සුබදායී බලාපොරොත්තු තිබියදී පවා  දශක ගණනාවක් තිස්සේ විශ්වාසදායක, සරල සහ කාර්යක්ෂම ගෙවීම් පද්ධතියක් හඳුන්වා දීමට නොහැකි වුණා. ලොවටම සේවාවන් සපයන ව්‍යවසායකයින්, නිදහස් වෘත්තිකයින් (Freelancers) සහ අපනයනකරුවන් අප සතුව ඉන්නවා. ඔවුන්ට සහාය වීමට හෝ ඔවුන්ගේ ගෙවීම් කාර්යක්ෂමව ලබා ගැනීමට අවශ්‍ය නිසි පහසුකම් අප සතුව තිබුණේ නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ දැඩි කැපවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍යව තිබූ මෙම ඩිජිටල් ගෙවීම් වේදිකාව ඔවුන්ට විවෘත කර දීමට දැන් අපට හැකි වී තිබෙනවා.

මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට විදේශයන්ගෙන් ගෙවීම් ලබා ගැනීම පහසු කරනවා පමණක් නොවේ. ලොව පුරා සිටින සේවාලාභීන්ට ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාර කටයුතු කිරීමද වඩාත් පහසු කරවනවා.

විශ්වාසදායක සහ කාර්යක්ෂම ගෙවීම් පද්ධති නොමැතිකම නිසා වසර ගණනාවක් තිස්සේ බොහෝ පිරිස් අවධිමත් සහ නීති විරෝධී (Grey-market) ක්‍රමවේද වෙත යොමු වුණා. මෙයින් පෙනෙන්නේ සැලකිය යුතු මුදලක් ශ්‍රී ලංකාවේ විධිමත් මූල්‍ය පද්ධතියට කිසිදා ඇතුළත් නොවූ බවයි. වත්මන් තක්සේරුවලට අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අපනයන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ වුවත්, විධිමත් මාර්ග හරහා ගෙවීම් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙහි විශාල සෙවනැලි කර්මාන්තයක්ද (Shadow industry) පැවතුණා.

මෙම බාධක ඉවත් කර නිවැරදි මාර්ගයෙන් ව්‍යාපාර කිරීම පහසු කිරීමට වත්මන් රජය කැප වී සිටිනවා. අපේ ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස ඩිජිටල් මුදල් (Digital currencies) සහ අතථ්‍ය වත්කම් (Virtual assets) සඳහා නියාමන රාමු හඳුන්වා දීමටද අප කටයුතු කරමින් සිටිනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා

ඩිජිටල් ආර්ථිකය පුළුල් කිරීම නව රජයේ සුවිශේෂී වෑයමක්. අද දින ආරම්භ කරන මේ කර්තව්‍යය ඒ සඳහා විශාල පිටිවහලක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

මෙවැනි මුදල් ගනුදෙනු පහසු කිරීමේ කාරකයක් ලංකාවට ගෙන්වීමට පසුගිය වසර දහය, දොළහ තිස්සේ සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී කිසියම් බාධා මතුව තිබුණා. එහෙත් ජනාධිපති කාර්යාලය ලෙස අපි මූලිකත්වය අරගෙන සෘජුවම ඉන්දියාවේ PayPal ආයතනයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අද ලංකාවට මේ PayPal පහසුකම හඳුන්වා දීමට හැකි වී තිබෙනවා. මේ පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන වාණිජ්‍යකරණ ජාතික ප්‍රවේශයේ ආචාර්ය මුදිත සෙනරත් යාපා මහත්මයාට විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුයි. මහබැංකුව වගේම මූල්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ දායකත්වයෙන් අපිට අද මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට හැකි වුණා.

විශේෂයෙන් ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒ වගේම තාක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් වෙත මෙම ක්‍රියාවලිය ඉතා පහසුවක් වනු ඇති. ඒ වගේම PayPal කියන්නේ අපේ රට ආර්ථිකය ප්‍රසාරණය කිරීමට කාලීන අවශ්‍යතාවක්. එම අවශ්‍යතාව අද දවසේ ඉෂ්ට වීම සතුටට කරුණක්. මේ ලැබෙන පහසුකම මගින් තම ව්‍යාපාර දියුණු කර ගන්න කියලා මම තරුණ ව්‍යවසායකයින්ට ආරාධනා කරනවා.