Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කරවීම මෙන්ම එම කටයුතු වල දී සිදුවන අඩුපාඩු අවම කර ගනිමින් ප්‍රමුඛතා අනුව සම්පත් කාර්යක්ෂම යෙදවීම ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුව ඇත.

ඒ අනුව මෙරට සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් “දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්” ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මේ වනවිට හිමිවී ඇත.

මධ්‍යම රජය සහ පළාත් සභා මඟින් පාලනය වන සෞඛ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණ දුර්වලතා ද, මඟහරවා ගනිමින් වඩා කාර්යක්ෂම රෝග නිවාරණ හා ප්‍රතිකාර සේවා වර්ධනය කිරීම මෙම පියවරෙහි මූලික අරමුණක් වේ. එමෙන්ම මීට පෙර පැවති ක්‍රමය යටතේ ප්‍රාදේශීය මට්ටමේ සෞඛ්‍ය ගැටලු නිසි ලෙස හඳුනා ගැනීම සහ ඒවා ජාතික සැලසුම්වලට ඇතුළත් කිරීමේදී යම් යම් ප්‍රායෝගික දුෂ්කරතා මතු වී තිබීම මෙවන් පත් කිරීමක් සිදු කිරීමට මුලික වී ඇත.

එලෙස පත්කරනු ලබන දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් වෙත පැවරීමට යෝජිත කාර්යභාර්ය සහ වගකීම් ද යෝජනා කර ඇති අතර ඒ යටතේ,· ජන සහභාගිත්වය ප්‍රමුඛ කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමේ සෞඛ්‍ය අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවා ප්‍රමුඛතා අනුව සකස් කිරීම,· එම අවශ්‍යතා ජාතික හා පළාත් සෞඛ්‍ය සැලසුම් සමඟ ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සැලසීම· රේඛීය හා පළාත් සෞඛ්‍ය ආයතන අතර සම්පත් කාර්යක්ෂම භාවිතා කිරීම සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම,· අමාත්‍යාංශ ප්‍රතිපත්ති අනුව ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධීකරණය කිරීම,· ප්‍රමුඛ ව්‍යාපෘති හඳුනා ගෙන අමාත්‍යාංශයට නිර්දේශ කිරීම,· දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කර ඒවා නියමිත කාල රාමුව තුළ සාර්ථකව නිම කිරීමට සහාය වීම, ඇතුළු කරුණු ගණනාවක් වේ.