Spread the love

දූෂණයෙන් තොර පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සමෘද්ධිය ගැන කතා කළ නොහැකි විපක්ෂයේ ඇතැමුන්ගේ අද එකම සටන් පාඨය බවට  පත්ව ඇත්තේ ජාතිවාදය බවත්, උතුරේ හෝ දකුණේ කිසිදු තැනක යළි ජාතිවාදයට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අපේ විශාලතම ශක්තිය එකමුතුකම බවත්, අපේ රටේ ප්‍රධානම ශක්තිය තිබෙන්නේ අපි එක්වන තැන බවත් සියලුදෙනා එකට එක් වීමෙන් ශක්තිමත් ලෙස රට ගොඩනැගිය හැකි බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා අතීත උරුමයන් මත පදනම් වූ නව ලෝකයට ගැළපෙන ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් රජය කැපවී සිටින බවද අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස හානි වූ පවුල් සහ නාය යෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල්  නැවත පදිංචි කිරීම වෙනුවෙන් ‘Rebuilding Sri Lanka” වැඩසටහන යටතේ ඉඩම් ලබා දීම සහ නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් සිදු කිරීමේ අවස්ථාවට අද (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී එක් වෙමිනි.

නිවාස ඉදිකිරීමේ වැඩසටහන අරඹමින් නව නිවසක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක් විය.

තුම්පනේ, හාරිස්පත්තුව, හතරලියද්ද, පූජාපිටිය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 146ක් වෙනුවෙන් මෙම ප්‍රතිලාභ පිරිනැමිණි.

මේ අනුව නිවාස ඉදිකිරීම සඳහා පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ විස්සක චෙක්පත් ප්‍රදානය, අර්ධ නිවාස හානි වූ පවුල්  වෙනුවෙන් තමන් පදිංචි නිවස පිළිසකර කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ තුනක චෙක්පත් ප්‍රදානය  සහ හානියට පත් කර්මාන්ත නැවත නඟාසිටුවීම සඳහා රුපියල් ලක්ෂ දෙකක චෙක්පත් ප්‍රදානය සිදු කෙරිණි.

එමෙන්ම, නියංගොඩ පිරිවෙන් දහම් පාසල පවත්වාගෙන යාම සඳහා පාසල් ගොඩනැඟිල්ලක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු විය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය

අපේ දේශපාලන ඉතිහාසය තුළ සෑම දේශපාලන වේදිකාවකම ප්‍රධාන මාතෘකාව වුණේ වංචාව සහ දූෂණය පිටු දැකීමයි. ඒ වෙනුවෙන් හිටපු නායකයන් විවිධ පොරොන්දු ලබා  දුන්නා. ඒ අනුව අපේ රටේ ආණ්ඩු පෙරළෙන විට වංචාව දුෂණය ප්‍රධාන මාතෘකාවක් වී තිබුණා. මම හිතනවා යළි අපේ රටේ දේශපාලන වේදිකාවේ වංචා, දූෂණ පිළිබඳ සටන් පාඨයක් ඇති වන්නේ නැහැ.

ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණා. මැතිවරණ කල් දැමීම, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම මහ මඟ මරා දැමීම ගැන කථා කළා. නැවත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ඇති වන්නේ නැහැ. දේශපාලන වේදිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සටන් පාඨයක් නැවත ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඒ වගේම ආර්ථික බිඳ වැටීම ගැන දේශපාලන වේදිකාවේ දිගින් දිගටම කතා කළා. මම හිතන්නේ නැහැ නැවත අපෙන් පරිබාහිර දේශපාලන ව්‍යාපාරවලට ආර්ථිකය බිඳ වැටීම සහ දුප්පත්භාවයෙන් රට ගොඩගැනීම පිළිබඳ දේශපාලන වේදිකාවේ සටන් පාඨ ඉදිරිපත් කිරීමට ඉඩක් ලැබෙයි කියා. අපි මේ රටේ දුප්පත්භාවය තුරන් කරනවා.

ඒ වගේම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් නැහැ කියා ආණ්ඩු බිඳ වට්ටවා තිබෙනවා. අපි ඉතා ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ නිසා රටට හිතකර දේශපාලන සටන් පාඨ දැන් බොහෝ අයට අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට බලයට ඒමට තිබෙන එකම මාවත ලෙස ජාතිවාදය තෝරාගෙන තිබෙනවා.

මේ රට ගොඩනඟන්නේ කොහොමද කියා අපිට දැක්මක් තිබෙනවා.  ඕනෑම රටක් ගොඩනැඟීමේදී ඒ රටේ ඉතිහාසය සහ ඒ රට ගොඩනැගුණේ කෙසේද යන්න වැදගත්. ඒ රට ගොඩනැගුණු අත්තිවාරම මත තමයි ඕනෑම රටක් සංවර්ධන සැලසුම් සහ ආර්ථික උපාය මාර්ග සකස් කරන්නේ.

ඒ නිසා අපේ අතීත උරුමය මත පදනම් වූ නව ලෝකයට ගැළපෙන නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් අපි කැපවී සිටිනවා. මේ මහපොළව සමඟ අක්මුල් විහිඳා ගත් සහ ඓන්ද්‍රීය සබඳතාවක් තිබෙන සමාජයක් ගොඩනැගීම මගින් තමයි අපේ ආර්ථික උපායමාර්ග සකස් කර තිබෙන්නේ. ඒ නිසා මේ බුදු දහම පිළිබඳවත්, අපේ ඉතිහාසය පිළිබඳවත් අපිට තිබෙන්නේ දේශපාලන වේදිකාවේ ගනු ලබන සටන් පාඨයක් නොවෙයි, අපේ රට ගොඩනැගුණු අතීතයත් සමඟ සබඳතා පවත්වා ගනිමින් අපි ඉදිරියට යා යුතුයි.