දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් හෙට (21) විවෘත කිරීමට නියමිතයි.
ඒ අනුව හෙට පෙ.ව 9.55ට ගණපූර්ණ සීනුව නාද කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඉන් අනතුරුව සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පළමුව කථානායකවරයා තෝරා ගැනීම සිදුවෙන අතර, පසුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත්කර ගැනීම සිදුකිරීමට නියමිතයි.
මෙම මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33 ව්‍යවස්ථාවල විධිවිධාන ප්‍රකාරව පෙ.ව 11.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
