Spread the love


නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන 17 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් ශූරතාවලිය රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේදී ඔක්තෝබර් 17 සිට 24 දක්වා පැවැත්වෙයි.
මෙම තරඟාවලිය කාන්තා හා පිරිමි විවෘත කාණ්ඩ සහ කනිෂ්ඨ කාණ්ඩ යටතේ පවත්වන අතර, එය ජාත්‍යන්තර තරඟාවලියක් ලෙස ප්‍රවර්ධනය කරමින් PSA තරඟාවලියක් ලෙස ද පැවැත්වේ. ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ලකුණු ලබා ගැනීමේ අවස්ථාවක් ලැබෙන අතර ඔවුන්ගේ PSA ලෝක ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට ද මෙය මහත් පිටුවහලක් වනු ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ ස්කොෂ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේදී විශිෂ්ඨ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරමින්, උසස් තත්ත්වයේ ක්‍රීඩකයින්, විනිසුරුවන් සහ පුහුණුකරුවන් බිහි කිරීම, ජාතික සහ ජාත්‍යන්තර තරඟාවලි සංවිධානය කිරීම සහ යටිතල පහසුකම් හා තාක්ෂණික සහය සැපයීම මගින් ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩාවට දැවැන්ත දායකත්වයක් ලබා දී ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්වර්ණ ජයන්තිය සනිටුහන් කිරීම සඳහා 2001 වසරේදී දී ප්‍රථම වරට ශ්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් ශූරතාවලිය පවත්වන ලද අතර එතැන් සිට මේ දක්වා පවත්වන ලද තරඟ සියල්ලක්ම ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වා ඇති අතර මෙවර තරඟාවලිය සඳහා ඉන්දියාව, සහ බංග්ලාදේශය ඇතුළු කලාපීය රටවල් ඇතුළු 400 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහබාගී වීමට නියමිතව ඇත.
පිරිමි විවෘත කාණ්ඩයේ ක්‍රීඩකයින් එයාර් චීෆ් මාර්ෂල් පී. එච්. මෙන්ඩිස් අනුස්මරණ කුසලානය සහ කාන්තා විවෘත කාණ්ඩයේ ක්‍රීඩිකාවන් එයාර් චීෆ් මාර්ෂල් හැරී ගුණතිලක අනුස්මරණ කුසලානය සඳහා සටන් වදින අතර, මෙම වාර්ෂික තරඟාවලිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා උරුමය සහ ජාත්‍යන්තර සහෝදරත්වය ශක්තිමත් කිරීමේ තවත් ප්‍රබල සාක්ෂියක් ලෙස සඳහන් කල හැක.