Spread the love

බස්නාහිර පළාතේ ස්ථාපිත වැදගත්ම දිසාවකට පත්කර ඇති උසස් පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට පැමිණිලි කිහිපයක් යොමු කර තිබේ.

ඒ පසුගිය කාලයේ අරගලකරුවන්ට පහරදීම, අනීතික ක්‍රියාවන්වල නිරත වීම හා විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ නිලධාරියකු මෙම තනතුරට පත්කිරීම ගැන අප්‍රසාදය පලකරමිනි.

මෙලෙස පත්කර ඇති නිලධාරියා යටතේ සංකීර්ණ කොට්ඨාසයන් හා ප්‍රදේශයන් පාලනය වන අතර එම නිලධාරියා ගේ ක්‍රියාකලාපය ගැන විමර්ශනාත්මකව අවධානය යොමුකරන ලෙසටද මෙමගින් ඉල්ලා තිබේ.

කාන්තා පොලිස් නිලධාරිනියන්ට ලිංගික හිංසන සිදුකිරීම, මැණික් ජාවාරම්කරුවන් හා එක්ව නීති විරෝධී අන්දමින් ව්‍යාපාර සිදුකිරීම, මංකොල්ලකෑමේ සිද්ධීයකට අදාළව සොයාගත් රත්‍රන් ඇතුළු දේපළ වලින් කොටසක් නිලධාරින් අතරේ බෙදාගැනීම, තමන්ට එරෙහිව පැවති දූෂිත හා විනය විරෝධී චෝදනා යටපත් කරගැනීම, පොලිසියට කැළැලක් වන අන්දමින් කටයුතු කිරීම වැනි චෝදනා රාශියක් ඇති මෙවැනි නිලධාරියකුට උසස් වීම් ලබාදීම හා බස්නාහිර පළාතේ සුවිශේෂී දිසාවක් භාර කිරීම මගින් වත්මන් රජය හෑල්ලුවකට මෙන්ම ජනතාව තුළ ඇති විශ්වාසය ද පළුදු වීමට හේතුවී ඇති බවද මෙම ලිපිය මගින් පෙන්වාදී ඇත.

මෙම නිලධාරියා සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයද පරීක්ෂණ සිදුකර ඇති බවත් ඇතැම් බරපතළ පැමිණිලි සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ද නොගෙන අවවාද පත්‍රිකා වලට පමණක් සීමා කරමින් එම විමර්ශන යටගසා ඇති බවත් මේ චෝදනා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලා ඇත.