Spread the love

දේවින්ද පිණිදිය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

ගාල්ල ධීවර වරායෙන් 2026 මැයි මස 03 වන දින ධීවරයින් හත් දෙනෙකු (07) රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, නාවික සැතපුම් අසූ එකක (81) පමණ දුරින්වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදි, එහි සිටි ධීවරයෙකු හදිසි අනතුරකට ලක්ව ඇති අතර, එම ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකල දැනුම් දීමකට අනුව, බහුදින ධීවර යාත්‍රාවේ අනතුරට පත් ධීවරයාට සහය වන ලෙස, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා වෙළඳ නෞකා දැනුවත් කිරීමට එම මධ්‍යස්ථානය විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, ‘MT MAUI’ නමැති වෙළඳ නෞකාව මඟින් හදිසි අනතුරට පත් ධීවරයා එම නෞකාවට නිරුපද්‍රිතව ලබා ගැනීමට කටයුතු කෙරුණු අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා එම ධීවරයා ගොඩබිමට රැගෙන ඒම සඳහා 2026 මැයි මස 08 වන දින දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් එම වෙළඳ නෞකාව වෙත යොමු කෙරිණි.  

ඒ අනුව, අනතුරට පත් ධීවරයා නාවික හමුදා යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් පසු මූලික ප්‍රථමාධාර ලබා දෙමින්, ඔහුව කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.