Spread the love

නිමල් රාජපක්ෂ

ස්විස්ටන්ලන්තයේ ජිනීවා හී දී හෙට (16) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුට සහභාගීවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නායකත්වයෙන් යුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (15) ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය.

79 වන ලෝක සෞඛ්‍ය සමුළුව ලබන 16වන දින ජිනීවා නුවරදී ආරම්භ වන අතර එය ලබන 22වන දින දක්වා පුරා දින 07ක් පැවැත්වේ. මෙම සමුළුවට සමඟාමීව පැවැත්වෙන සැසි ගණනාවකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්වීමට නියමිත අතර මැයි 18වන දා ප්‍රධාන සමුළුව ඇමතීමට ද නියමිතය.

මෙම සමුළුව පැවැත්වෙන කාලපරිච්ඡේදය තුළ සමුළුවට සහභාගී වන භූතානය, තායිලන්තය, බංගලිදේශය ඇතුළු රටවල් ගණනාවක සෞඛ්‍ය අමාත්‍යවරු සමඟ මෙන්ම නිපොන් පදනම ඇතුළු සංවිධාන ගණාවක් සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වනු ඇත.

අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය එස්.ශ්‍රීධරන්, වෛද්‍ය සමිද්ධි සමරකෝන්, අධ්‍යක්ෂ සැලසුම් වෛද්‍ය ජානකී විදාන පතිරණ, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා වෛද්‍ය අයන්ති කරුණාරත්න යන මහත්ම මහත්මීන් ද සමුළුව සඳහා සහභාගී වේ.

2025 ඔක්තෝම්බර් මස ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ දී එහි සභාපතීත්වයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්විය.

ඒ අනුව මෙරට සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙන් ම දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙස ද, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙවර 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව නියෝජනය කරනු ලැබේ.