Spread the love

නිමල් රාජපක්ෂ

‘අපේ රටේ ප්‍රධාන නගරයේ ඉදිකර ඇති පිටකොටුව පාවෙන වෙළද සංකීර්ණය අද වනවිට පාවෙන නගරයක් නොව පාවෙන අපායක් බවට පත්ව ඇති බවත්, මේ ව්‍යාපෘතියේ ආරම්භක සැලැස්ම අතරමගදී වෙනස්කර පසුගිය පාලන සමයේ දේශපාලන ක්‍රියාමාර්ග සමග ගත් තීන්දු හේතුවෙන් අද වනවිට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව කොළඹ නගරයටත් ජනතාවට සහ පරිසරයටත් දැඩි අහිතකර තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්’ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පලකලේ බේරේ වැව ආශ්‍රිතව ඉදිකර ඇති පාවෙන වෙළද මධ්‍යස්ථානයේ පවතින තත්ත්වය සහ එහි ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමටත් බේරේ වැව සංවර්ධනය සදහාත් අවශ්‍ය සැලසුම් සකස් කිරීම වෙනුවෙන් එහි ක්ෂේත්‍ර පරීක්ෂණයකට අද දින (2026.05.15) එක්වෙමිනි.

‘2014 වසරේ ආරම්භ කරන ලද Floating Market වෙළදසැල් ව්‍යාපෘතිය යටතේ වෙළදසැල් 92 ක් ඉදිකෙරිණ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මෙම වෙළදසැල් වසර 5 ක බදු පදනමක් මත ව්‍යාපාරිකයින්ට පිරිනමා ඇත. අද වනවිට මෙහි ක්‍රියාත්මක වන්නේ වෙළදසැල් 16 ක් පමණි. නිසිලෙස නඩත්තු නොකිරීමෙන් වෙළදසැල් පරිශ්‍ර දැඩි ලෙස විනාශයට පත්ව මේ වනවිට පාරිභෝගිකයින් නොපැමිණෙන ස්ථාන බවට පත්ව ඇත.

දිනෙන් දින මෙහි වෙළදසැල් සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් විනාශයට පත්වෙමින් පවතී. දැව හා ලෝහ ආශ්‍රිතව සිදුකර ඇති ඉදිකිරීම් දිරාපත්වීම හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ද උද්ගතව ඇත. එමෙන්ම කොළඹ බැස්ටියන් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත භාවිතා කරන රාජ්‍ය සේවකයින් ඇතුළු ජනතාව Floating Market සංකීර්ණය හරහා ඉදිකර ඇති මාර්ගයේ ගමනාගමනයේ යෙදෙති.එහි යකඩ තහඩු හා අත්වැට ගැලවී මෙම හරස් මාර්ගය ද දැඩි ලෙස අනාරක්ෂිත වී ඇත. බස් හා දුම්රිය සේවා ලබාගනු ලබන ජනතාව දිවා රාත්‍රී ගමනාගමනයට කෙටි මාර්ගයක් ලෙස මෙය භාවිත කරනු ලැබීය. මෙහි සියලුම විදුලි පද්ධති අක්‍රිය වී අනාරක්ෂිත තත්ත්වයට අමතරව විවිධ අපචාර සිදුවන ස්ථානයක් බවට ද පත්ව ඇත.

පාවෙන වෙළද සංකීර්ණ පරිශ්‍රයේ සියලුම ප්‍රවේශයන් භෞතිකව නිරීක්ෂණය කල නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ, පවතින අනාරක්ෂිත තත්ත්වයට කඩිනම් විසදුම් ලබාදී ජනතාවගේ හා ව්‍යාපාරික ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි. අනතුරු පවතින ස්ථාන හා ඉවත්කල අබලි ද්‍රව්‍ය, කසල බැහැර කිරීම් විධිමත්ව සිදුකරන ලෙසත් භාෂා තුනෙන්ම දැනුම්වත් කිරීමේ පුවරු සටහන් කර ආරක්ෂිත තත්ත්වයන් ස්ථාවර කරන ලෙස පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, පැවතියාට වඩා උසස් තැනකට මෙම ව්‍යාපෘතිය නැවත පරිවර්තනය කිරීමට ප්‍රමිතිගත වැඩපිළිවෙලක් සිදුකිරීමේ අවශ්‍යතාවය ද බේරේ වැවේ ජලතලය මතුපිට පවිත්‍ර කිරීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මගින් දෛනිකව සිදුකිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර සිටියේය.

හෙක්ටයාර් 65 ක් පුරා විහිදී පවතින බේරේ වැව සංවර්ධනයට අවශ්‍ය තිරසර සැලසුම් වෙනුවෙන් බේරේ වැවේ ස්ථාන තුනකින් නිරීක්ෂණයටද එක්විය. බේරේ වැව මගින් උද්ගතව ඇති සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නත් එහි සංවර්ධනය බලපාන ගැටළුත් සොයාබැලීම මෙහි අරමුණ විය. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නැගෙනහිර බේරේ, බටහිර බේරේ සහ ගංගාරාම බේරේ යන ස්ථානවලින් නිරීක්ෂණයන් සිදුකල අතර, එහි පවතින තත්ත්වයන් සමීපව අධ්‍යනය කෙරිණ. දැනට දිරාපත් වෙමින් අනාරක්ෂිතව පවතින බේරේ වැවේ රැහැන් පාලම සහ ‘කලාදූවේ බුබ්බුලාකාර සෙවණ’ පරිශ්‍රය ද නිරීක්ෂණය කිරීම මීට සමගාමීව සිදුකෙරිණ.