දේවින්ද පිණිදිය
දිට්වා (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැඩි නායයෑමේ අවදානමට ලක් වු ප්‍රාදේශීය රෝහල්හි වත්මන් ක්‍රියාකාරීත්වය, ප්‍රගතිය සහ ඉදිරි ප්‍රතිස්ථාපන කටයුතූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නිරීක්ෂණයට පසුගියදා ලක් විය.
ඒ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතා ප්රමුඛ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත කණ්ඩායමකගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව බදූල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත ජනතාවට සහ දුෂ්කර ගම්මාන රැසකට මූලික, බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවා සපයනු ලැබූ, නාය යෑමේ අවදානමට ලක්ව රෝගී ප්‍රතිකාර සේවාවන් සීමා කර පවත්වාගෙන යනූ ලබන ස්ප්‍රිංවැලි (Spring Valley) සහ සිල්මියාපුර ප්‍රාදේශීය රෝහල් මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලිදුල, උතුරු මැදකුඹුර යන ප්‍රාදේශීය රෝහල් මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.
ඉහත රෝහල් වලට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රාදේශීය රෝහල, ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහල යන සෞඛ්‍ය ආයතනවල වත්මන් ප්‍රගතිය ද සමාලෝචනයට ලක් කෙරිණි.
“ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ” (Rebuilding Sri Lanka) ජාතික වැඩසටහන යටතේ ස්ප්‍රිංවැලි (Spring Valley) ප්‍රාදේශීය රෝහල ප්‍රතිසංවර්ධනය සඳහා රුපියල් මිලියන 148 ක් වෙන්ව ඇති බව මෙහි දී නිලධාරීන් පෙන්වා දෙන ලද අතර, සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිස රෝහලේ දැනට ක්‍රියාත්මක හදිසි ප්‍රතිකාර සහ සායන මගින් ලබාදෙන සේවා පිළිබඳවත් කරුණු සොයා බලන ලදි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRA) මගින් ඉදිරියේ දී ලබාදෙනු ලබන නිර්දේශ මත පදනම්ව, සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නැවත රෝහල ප්‍රතිස්ථාපන සැලසුම් සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව ද මෙහි දී අවධානය යොමූ කරන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත රෝහල් පද්ධතියට බ්‍රිතාන්‍යයට යටත්විජිත යුගය දක්වා දිවයන දිගු ඉතිහාසයක් ඇති අතර, ලිදුල ප්‍රාදේශීය රෝහල යනු, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, විශේෂයෙන්ම තලවකැලේ, ලිදුල, ආගරපතන, ඩයගම සහ අවට තේ වතු ආශ්‍රිතව ජීවත්වන, ප්‍රවාහන පහසුකම් අවම කඳුකර කලාපයේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් අතිශය වටිනා මෙහෙවරක් ඉටුකරන මධ්‍යස්ථානයකි.
එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිස එම රෝහල පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරන ලදී.
