Spread the love

නිමල් රාජපක්ෂ-


ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා තාක්ෂණික සමාගමක් වන ISF විසින් ලොව ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ පද්ධතිය හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ දේශීය ඉංජිනේරුවන් විසින් නිර්මාණය කර නිෂ්පාදනය කර ඇති මෙම නව තාක්ෂණය පොල් සැකසුම් කර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමටත්, ශ්‍රමය මත ඇති යැපීම අඩු කිරීමටත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීමටත් දායක වන බව ISF පවසයි.


මෙතෙක් බොහෝවිට ශ්‍රමිකයන්ගේ අතින් සිදු කළ පොල් වතුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීම මෙම නව පද්ධතියේ විශේෂත්වයකි. ඒ හරහා නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරමින් ආයෝජනය සඳහා ඉක්මන් ප්‍රතිලාභයක් ලබාගැනීමට හැකියාව ලැබෙන බව සමාගම සඳහන් කරයි.
මෙම නව තාක්ෂණය සජීවී ප්‍රායෝගික ප්‍රදර්ශනයක් මගින් එළිදක්වා ඇති අතර, එම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, ISF ආයතනයේ ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳපොළ නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ මාධ්‍ය නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.


ISF අධ්‍යක්ෂ අංජුලා සිවකුමාරන් මහත්මිය සදහන් කළේ මෙම ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ පද්ධතිය නිර්මාණය කර, පරීක්ෂා කර, දියත් කිරීමට හැකිවීම පිළිබඳව තමන් ආඩම්බර වන බවයි.


මෙම නව යන්ත්‍රය ඉදිරියේදී පිලිපීනය වෙත යැවීමට නියමිත අතර, ඉන්දුනීසියාව සහ පිලිපීනයේ සිටින ISF ගනුදෙනුකරුවන් මෙම නවෝත්පාදනය පිළිබඳව ඉතා උනන්දුවෙන් පසුවන බවද ඔහු පැවසීය. යන්ත්‍රය ස්ථාපනය කිරීම සහ අලෙවියෙන් පසු සේවා සැපයීම සඳහා ISF ඉංජිනේරුවන් කණ්ඩායමක් එම රටවලට යාමට නියමිතය.


ශ්‍රී ලංකාවේ සහ කලාපයේ සමාගම්වල මෙහෙයුම් ස්වයංක්‍රීය කරමින් ඔවුන්ට ගෝලීය වෙළෙඳපොළ තුළ තරග කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම දැක්මක් බව අංජුලා සිවකුමාරන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය

. ශ්‍රී ලංකාවේ පවතින ඉහළ මට්ටමේ ඉංජිනේරු දක්ෂතා උපයෝගී කරගනිමින්, ඉතා කෙටි කාලයකදී ආයෝජන ප්‍රතිලාභ ලබාගත හැකි තාක්ෂණික විසඳුම් පාරිභෝගිකයන් වෙත ලබාදීම එහි අරමුණ බවද ඔහු පැවසීය.


පොල් වතුර ඉවත් කිරීමේ ක්‍රියාවලියට පමණක් ISF හි තාක්ෂණික සංවර්ධන කටයුතු සීමා නොවන බවද ඔහු අවධාරණය කළේය. පොල් සැකසුම් ක්‍රියාවලියේ සමස්ත අගය දාමය ආවරණය වන පරිදි පොල් ලෙලි ඉවත් කිරීම, පොල් කටුව ඉවත් කිරීම සහ පොල් කැපීම ඇතුළු ක්ෂේත්‍ර සඳහාද නව තාක්ෂණයන් සංවර්ධනය කරමින් සිටින බව ඔහු සඳහන් කළාය.


ඉංජිනේරු විශේෂඥතාව, ස්වයංක්‍රීයකරණ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය එකට එක්කරමින් දුෂ්කර ව්‍යාපාරික ගැටලු සඳහා නව විසඳුම් නිර්මාණය කිරීම ISF හි අරමුණ බවද අංජුලා සිවකුමාරන් මහත්මිය පැවසීය. ඒ සඳහා පුළුල් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකරමින් ගෝලීය හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරන බවද කීවාය.


1977 වසරේදී ආරම්භ වූ ISF ආයතනය මේ වනවිට නිෂ්පාදන සමාගමක සිට තාක්ෂණය, ඉංජිනේරු සේවා, ස්වයංක්‍රීයකරණය සහ ක්‍රියාවලි විසඳුම් සපයන ආයතනයක් දක්වා වර්ධනය වී තිබේ. කිරි, පොල්, ආහාර, ඖෂධ, රසායනික සහ FMCG කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසකට එම ආයතනය සිය සේවා සහ තාක්ෂණික විසඳුම් සපයයි.


ශ්‍රී ලංකාවේ සහ කලාපයේ සමාගම් ගෝලීය ප්‍රමිතීන්ට ගෙන ඒම සඳහා බටහිර තාක්ෂණික සමාගම් අය කරන පිරිවැයෙන් ඉතා අඩු වියදමකින් තාක්ෂණික විසඳුම් ලබාදීම තම අරමුණ බව අංජුලා සිවකුමාරන් මහත්මිය අවධාරණය කළාය.


මෙම නව ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ පද්ධතිය ශ්‍රී ලංකාවේ ඉංජිනේරු දක්ෂතා සහ නවෝත්පාදන හැකියාවන් ජාත්‍යන්තර පොල් සැකසුම් කර්මාන්තය වෙත ගෙන යන වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

විඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න