Spread the love


නිමල් රාජපක්ෂ-


මෙවර මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීමට රුපියල් මිලියන 16,000ක් රජය වෙන් කළ බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.

රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක වුවත් ‌ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ දී තමන් ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණ සහයෝගය පළ බවත් මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා ගොවි ජනතාවට ලබා දිය හැකි හැම සහනයක් ම ලබා දීමට රජය කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ ගැටළු සම්බන්ධව එම වෘත්තිය සමිති නියෝජිතයින් සමග අමාත්‍යවරයා පසුගියදා සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මෙම සාකච්ඡාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැති අතර ඊට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් .එච්. එම්. එල්. ඒ. අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මේ යට‌තේ වී වගා කරන හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 20,000ක් ද හෙක්ටෙයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක මුදලක් ද වශයෙන් ලබා දීමට පියවර ගනු ලැබීය. මේ සඳහා රජය විසින් රුපියල් මිලියන 16,000ක් වෙන් කර තිබිනි.

නමුත් දිස්ත්‍රික් කමිටුව විසින් තම වගකීම නිසි පරිදි සිදු කර ඇත්ද යන්න සම්බන්ධව ගැටළු සහගත බවත්, ඇතැම් කමිටු හරහා යම් යම් අක්‍රමිකතා සිදු වූ බවට වාර්තා වන බවත්, ඒ සම්බන්ධව පුළුල් විමර්ශනයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වුවද ප්‍රමිතියෙන් බාල කාබනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට පියවර ගෙන ඇත්නම් ඊට ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් සමන්විත මෙම කමිටුව ද වගකිව යුතුය. ප්‍රමිතියෙන් බාල කාබනික පොහොර සැපයීමට කටයුතු කළ සමාගම් කිහිපයක් අසදු ලේඛන ගත කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ කෘපනිස නිලධාරින් ඇතැම් කාබනික පොහොර සමාගම් මෙම දිස්ත්‍රික් කමිටු නියෝජිතයින් මුදල් අල්ලස් වශයෙන් ලබා දී තම සමාගම්වල කාබනික පොහොර අලෙවි කර ගැනීමට පියවර ගත් බවට තමන් සත්ව සාක්ෂි ඇති බවත් සඳහන් කළේය.

එවැනි තොරතුරු ඇත්නම් අමාත්‍යාංශයට ලබා දෙන ලෙසත් සඳහන් කළ අමාත්‍යවරයා 2023 යල කන්නයේ දී වී වගාවට අමතරව අතිරේක බෝග වගාවට ප්‍රමුඛත්වය ලබා දෙන බවත්, වී වගාවට අවශ්‍ය සියලුම රසායනික පොහොර හිඟයකින් තොරව ලබා දීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.