Spread the love

නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ යොදාගනිමින් පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමගින් එක් සැකකරුවකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන

ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය පාරේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන  බවට ලද තොරතුරක් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්  ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඊයේ (19) එම ස්ථානය වටලා තිබුණි. 

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරින් සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර තිබුණු අතර, එහිදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සම්ප්‍රේෂණ උපකරණ ද සමඟ නීතිවිරෝධී රූපවාහිණී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. 

සැකකරු අවුරුදු 55ක් වූ  කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිව සිටින මාලදිවයින් ජාතිකයෙකි.

ගල්කිස්ස පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.