Spread the love

නිමල් රාජපක්ෂ

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශය සිය භාරයට ගෙන තිබේ.

ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා ඉතා සූක්ෂම අයුරින් ඇසුරුම් තුල සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙනවිත් ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා පවසයි.
රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය 2024 වසරේ ජනවාරි පළමුවනදා සිට මේ වසරේ ජුනි දක්වා කාලය තුළ එම ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා අමෙරිකාව, කැනඩාව සහ මැලේසියාව යන රටවලින් ලැබුණු මත්ද්‍රව්‍ය බවට සැකසහිත කුරියර් පාර්සල් ගණනාවක් විශ්ලේෂණය කර රදවා තබා ගෙන තිබුණි.

එම පාර්සල් සඳහා දීර්ඝ කාලයක් කිසිදු පුද්ගලයෙකු හිමිකම් නොදැක්වීම හේතුවෙන් එම පරික්ෂාවන් තවදුරටත් සිදුකිරීමට රේගුව කටයුතු කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව පසුගිය 25 වනදා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් අදාළ පාර්සල් විවෘත කර පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර එහිදි එම පාර්සල් තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව තිබේ.

එම පාර්සල් තුල කොකේන් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 101ක්, කුෂ් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 666 ක් සහ කංසා තෙල් කුප්පි හතරක් ද තිබූ බව රේගුව සඳහන් කළේය.

රේගු භාරයට ගත් එම මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් මිලියන 60 ක් වන අතර මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.