Spread the love

ආණ්ඩුවේ වියදමෙන් විශේෂඥ වෛද්‍යවරු වෙන අය තවත් අවුරුදු දහයක් රටට සේවය කළ යුතුයි කියා ඒ නීතියේ තිබෙන්න ඕනි. එහෙම නැතිව ඩොලර් පවුම් වලට පිටරට යන වෛද්‍යවරුන්ව සොච්චම් දීමනාවකින් නවත්වන්න පුළුවන් වේවි කියලා අපි නම් හිතන්නේ නෑ’ යයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

පිවිතුරු පෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

අද පරිපූරක වෛද්‍ය සේවා වැඩවර්ජනයක. ඒ අය ඉල්ලන්නේ වෛද්‍යවරුන්ට ලබා දුන්නු රුපියල් තිස්පන් දාහේ දීමනාව ඒ අයටත් ලබා දෙන්න කියලා. සම්ප්‍රදායික විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු හැටියට නම් වහාම මේ අයටත් ඒ දීමනාව ලබා දිය යුතුයි කියලායි කියන්න ඕනි. මොකද වෛද්‍යවරුන් ගණනට වඩා පරිපූරක වෛද්‍ය සේවාවන්හි ඉන්න පිරිස වැඩියිනෙ. ලොකු ඡන්ද කුට්ටිය තිබෙන්නේ එතැනනෙ. නමුත් අපි කවදාවත් ඡන්ද කුට්ටි බලා ගෙන දේශපාලනය කලේ නෑ. කෙතරම් අවාසි වුණත් හරි දේට හරි කිව්වා. වැරදි දේට වැරදියි කිව්වා.

ආර්ථික අර්බූදයත් එක්ක වැඩියෙන්ම විදෙස්ගත වන පිරිස බවට වෛද්‍යවරු පත් වෙලා. එක්සත් රාජධානිය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල ඇති වෙලා තිබෙන වෛද්‍ය හිඟය නිසා මේ තත්වය උග්‍ර වෙලා තිබෙනවා. මේ පැත්තෙන් සැපයුම තිබෙනවා වගේම අනිත් පැත්තෙන් ඉල්ලුමත් තිබෙනවා. මේ නිසා අපේ රටේ සෞඛ්‍ය සේවාව දැවැන්ත අර්බූදයකට මුහුණ පාලා තිබෙනවා.

මෙරට ඇතිවන වෛද්‍ය හිඟය තමයි විසදාගැනීමට අසීරුම හිඟය බවට පත් වෙන්නේ. වෛද්‍යවරයෙකු බිහි කරන්න ආණ්ඩුව ලක්ෂ 50ක් වගේ මුදලක් වැය කරනවා. අවුරුදු හයක් විතර කාලය වැය වෙනවා. ඒ නිසා පුරප්පාඩු පිරවීමට අමාරුම වෘත්තිය වෛද්‍ය වෘත්තිය. පිටරටකින් වෛද්‍යවරයෙකු ගෙනාවොත් මාසයකට ලක්ෂ 25ක් විතර ගෙවන්න වෙනවා. ඒක මේ ආර්ථිකයට දරන්න පුළුවන් දෙයක් නොවේ. වෛද්‍යවරු රට හැර යෑමට විසඳුමක් විධියට තමයි ඔය රුපියල් තිස්පන් දාහේ දීමනාව ලබා දෙන්නේ. ඒ තිස්පන් දාහ දෙනවා කිව්වාම රට යන්න ඉන්න කෙනා නතර වේවි කියලා නම් මම හිතන්නේ නෑ. නමුත් වෛද්‍යවරු ගැන අවධානය යොමු කළා කියන හැඟීම නම් ඇති කරන්න පුළුවන් වේවි.

පොදුවේ රටේ තිබෙන රට හැර යෑමේ ප්‍රවණතාවය පරිපූරක වෛද්‍ය සේවා වලත් ඇති. නමුත් වෛද්‍ය සේවාවේ වගේ උග්‍ර ගැටළුවක් වෙනත් කිසිම ක්ෂේත්‍රයක නෑ. ඒ වගේම එවැනි අය බිහි කිරීමට ආණ්ඩුවට වෛද්‍යවරුන් බිහි කිරීමට තරම් කාළය සහ මුදල් වැය වන්නේ නෑ. ඒ නිසා වෛද්‍යවරුන්ට ලබා දුන් දීමනාව පරිපූරක සේවාවන්ට ලබා දුන්නොත් ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම වැටුප් වැඩි කරන්න වෙනවා. එහෙම වැටුප් වැඩි කිරීමක් කරන්න පුළුවන් තැනක මේ රට තිබෙනවා ද කියන එක බුද්ධියක තිබෙන රටට ආදරේ හැමෝම හිතලා බලන්න ඕනි.

මේ වෛද්‍යවරු නිදහස් අධ්‍යාපනයේ දරුවන්. වැඩිම කාලයක් නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනය ගන්නේ වෛද්‍යවරු. ඒ නිසා මේ රටේ ජනතාව තමන්ට ඉගැන්වීමට වැය කළ මුදලේ ණය ගෙවන්න මේ වෛද්‍යවරුන්ට යුතුකමක් තිබෙනවා. නමුත් සමහරු ආණ්ඩුවේ පත්වීමවත් ගන්නේ නැතිව වෛද්‍යවරයෙකු වුණු ගමන් පිටරට යනවා. ඒ නිසා ආණ්ඩුව වෛද්‍යවරයෙකු අවම වශයෙන් අවුරුදු දහයක් ආණ්ඩුවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ යුතුයි කියා නීතියක් ගේන්න ඕනි. එහෙම වසර 10ක් සේවය කරන්නේ නැතිනම් ආණ්ඩුව වියදම් කල මුදල වගේ තුන් ගුණයක් ගෙවිය යුතුයි කියලා නීතියක් ගේන්න ඕනෑ. ආණ්ඩුවේ වියදමෙන් විශේෂඥ වෛද්‍යවරු වෙන අය තවත් අවුරුදු දහයක් රටට සේවය කළ යුතුයි කියා ඒ නීතියේ තිබෙන්න ඕනි. එහෙම නැතිව ඩොලර් පවුම් වලට පිටරට යන වෛද්‍යවරුන්ව සොච්චම් දීමනාවකින් නවත්වන්න පුළුවන් වේවි කියලා අපි නම් හිතන්නේ නෑ.