Spread the love


නිමල් රාජපක්ෂ-

.

ගොවින්ට අනිද්දා (20) වන සදුදා සිට නොමිලයේ පොහොර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහතා පවසයි .
මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇති මඩපොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) මෙට්‍රික් ටොන් 36,000ක ප්‍රමාණය කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දීම හෙට (19)දින සිදු කෙරේ.

මෙම පොහොරවලින් පළමු තොගය උතුරු නැගෙනහිර යල කන්නයේ වී වගාව මේ වනවිටත් ආරම්භ වී ඇති නිසා එම පළාත්වල සියලු දිස්ත්‍රික්කයන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොමර්ෂල් පොහොර සමාගමට හා ලංකා පොහොර සමාගමට උපදෙස් දී ඇත.

ඒ අනුව ඊයේ (17) දිනය තුළ උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්ක වෙත මඩපොහොර මෙට්‍රික් ටොන් 11,537ක් බෙදා හැරීමට පියවර ගත් බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේය.

මන්නාරමට මෙ. ටො. 1244ක්, වව්නියාවට මෙ. ටො. 821ක්, කිළිනොච්චි සදහා මෙ. ටො. 820ක්, මුලතිව් සදහා මෙ. ටො. 694ක්, යාපනයට මෙ. ටො. 297ක්, මඩකලපුවට මෙ. ටො. 1824ක්, අම්පාරට මෙ. ටො. 4066ක් හා ත්‍රිකුණාමලයට මෙ. ටො. 1746ක් ද වශයෙන් පොහොර මෙට්‍රික් ටොන් 11,537ක් යැවීමට පියවර ගෙන ඇත.

මෙම පොහොර ගොවීන් වෙත නොමිලයේ ලබා දීම ලබන සඳුදා (20) දින සිට සිදු කිරීමට නියමිතය.
දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මෙම මඩ පොහොර ලබා දීමට කටයුතු යොදා ඇති අතර උතුරු හා නැගෙනහිර පළාත්වල ගොවීන්ට ලබන සඳුදා සිට ම තමන්ට නියමිත මඩ පොහොර ප්‍රමාණයන් ඒ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ලබා ගැනීමට පිළිවන. වගා කටයුතු ආරම්භ වන පරිදි අනෙකුත් දිස්ත්‍රික්කවලට ද ඒ අයුරින්ම පොහොර ලබා ගැනීමේ පහසුකම් සළසා ඇති බව ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතා සඳහන් කරයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී වගා කරන හෙක්ටෙයාර් එකක් සඳහා නිර්දේශ කර ඇති මඩ පොහොර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 55කි. මහ කන්නයේ වී වගා කළ සියලු ගොවීන්ට මඩ පොහොර ලබා දීමට කටයුතු සළසා තිබේ.